2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

දිල්ලි ක්‍රිකට් විචාරකයන්ගේ කට කැඩිච්ච කතා!

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 267

“අපේ අය මේ රැවටිල්ලක් කරන්නේ. කෝලිව අවුව් කරන්න බැරිව කරන ඒවනේ” යැයි පසුගිය ඉරිදා ඇතැම් ක‍්‍රිකට් ලෝලීහූ පැවසූහ. ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ පසුගිය ඉරිදා ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ පළමුවරට වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මුඛ ආවරණ පැළද පන්දු රැකීමට පැමිණියහ.

සාමාන්‍ය ක‍්‍රිකට් ලෝලීන්ගේ එවැනි ප‍්‍රකාශ බැහැර කළ හැකි වුවද ලොව පිළිගත් ජාත්‍යන්තර ක‍්‍රිකට් විචාරකයන් කළ එවැනිම ආකාරයේ ප‍්‍රකාශ එකවරම බැහැර කළ නොහැක. දිල්ලිවලින් ලැබෙන තොරතුරු අනුව ඉන්දීය හිටපු ක‍්‍රීඩකයන් වන විස්තර විචාරකයන්ගේ ප‍්‍රකාශ කුණු කූඩයට දැමිය හැකිය.

“මුරලි විජේට පැයකට වැඩිය ඔක්සිජන් දීලා තියෙනවා. මොහොමඩ් ශාමි අමාරැයි කියලා ඇතුළට ගියා කෝලි ගිහින් එක්කක් ආවේ” යැයි නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. “මම හිතන්නේ කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයෝ අපහසුතාවට පත්වුණා. අපේ ඇතැම් ක‍්‍රීඩකයෝ නාසය පිසදැමූ විට කළු පාට දුවිල්ල වගේ තිබුණා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් මුඛ ආවරණ පැළඳ එදින පන්දු රැකීමට පැමිණි අතර පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන් දෙපළ වන සුරංග ලක්මාල් සහ ළහිරු ගමගේ හුස්ම ගැනීමේ අපහසුතාවක් (ශ්වසන ආබාධ) හේතුවෙන් පිටියෙන් ඉවත් වූහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් කීපදෙනකුම හුස්ම ගැනීම අපහසු යැයි ඒ වනවිටත් නායක දිනේෂ් චන්දිමාල්ට පවසා තිබූ අතර ඒ පිළිබඳව චන්දිමාල් අවස්ථා දෙකකදී විනිසුරුවන් දැනුම්වත් කළ අතර ඒ අනුව අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

ත‍්‍රිත්ව ශතකයක් රැස්කිරීමේ සැළසුම් කර සිටි විරාට් කෝලි මෙම සිද්ධි අතරතුරදී ලකුණු 243 කට දැවී ගියේය. එහිදී විස්තර විචාරකයන් පැවසුවේ එම දැවීයෑමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ශ්වසන ආබාධ සිද්ධිය බලපෑ බවයි. සදීර සමරවික‍්‍රම තුවාල ලබා සිටීමත් ක‍්‍රීඩකයන් කීපදෙනකු ශ්වසන ආබාධය හේතුවෙන් ඉවත්වීමත් නිසා ශ්‍රී ලංකා පිල පන්දු රකින්නන් අඩුවීමේ අර්බුදයකට මුහුණදුන් අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික‍්‍රම සහ අභ්‍යාසක නික් ලී සුදු පැහැති ඇඳුමින් සැරසී පන්දු රැකීමට සූදානම්ව සිටියහ. නිලධාරීන් දෙපළ පන්දු රැකීමට ක‍්‍රීඩාංගණයට පිවිසීමට පෙර විරාට් කෝලි ඉනිම අවසන් කරන බව දැනුම් දුන්නේය.

නිලධාරීන් දෙපළ පන්දු රැකීමට පිවිසුණේ නම් එය ද ටෙස්ට් ක‍්‍රිකට් වාර්තාවක් වීමට ඉඩ තිබුණි. මෙම සිද්ධිය වනවිට ඉන්දීය විවේකාගාරයේ සිටි ඇතැමුන් ද මුඛ ආවරණ පැළඳ සිටි අතර ඇතැමුන්ගේ අතේ මුඛ ආවරණ තිබුණි.

රූපවාහිනියේ එය සජීව විකාශය කරන විට අතැමුන් මුඛ ආවරණ බිමට අතහැරිය බවද කියවේ. දිල්ලි යනු ලෝකයේ සීඝ‍්‍රයෙන් වායු දූෂණය වන 12 වැනි නගරය වන අතර ඉන්දියාව වායු දූෂණය වැඩිම ලෝකයේ දෙවැනි රටවේ. දිල්ලි නුවර එකම ස්ථානයට පුද්ගලයන් 1000 කට වැඩියෙන් රැස් නොවන ලෙස එරට අධිකරණ තීන්දුවක් ද තිබෙන බව වාර්තා වේ.

මෙම සිද්ධිය වනවිට ක‍්‍රීඩාංගණයට දසදහසකට ආසන්න ප්‍රේකෂක සංඛ්‍යාවක් පැමිණ සිටියහ. මෙම ටෙස්ට් තරගය දිල්ලිහිදී නොපවත්වන ලෙස ඉල්ලීමක් කර තිබූ බවත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බවත් වාර්තා වේ.  

සටහන: යොහාන් භාසුර