2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

හතුරුසිංහ සඳුදා සිට වැඩ අල්ලයි

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශයේ ඔහු සතුවූ සියලු බඩු මුට්ටු පටවාගෙන පසුගිය සිකුරාදා ශ‍්‍රී ලංකාවට පැමිණියේය. හතුරුසිංහ හෙට (18 වැනිදා) ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර නිලවශයෙන් බාරගැනීමට නියමිත අතර ලබන බදාදා පළමුවරට මාධ්‍ය හමුවට පැමිණෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල වැටී ඇති අවස්ථාවක ප‍්‍රධාන පුහුණුකරු තනතුර බාරගැනීම හතුරුසිංහ මහතාට විශාල අභියෝගයක් වනවාට සැක නැත. ඔහු පාසල් ක‍්‍රිකට් පිටියෙන් අන්තර් සමාජ පිටියට පැමිණියේ ද අභියෝග රැසක් මධ්‍යයේ බව තතු දන්නෝ පවසති. හතුරුසිංහ අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ සිට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයට එන්නේ මල් ඇතිරූ ගමන් මගක නම් නොවේ. දැන් ඒ සියලු දේ ඉතිහාසයට එකතු වී හතුරුසිංහ ලෝකයේ වැඩිම වැටුප ලබන පුහුණුකරුවකු බවට පත්වී හමාරය.

හතුරැසිංහ යනු කිව්වොත් කිව්වා ජාතියේ පුද්ගලයකු බව ඔහු පිළිබඳව දන්නා බොහෝ දෙනා පවසති. හතුරුසිංහ මහතා බංග්ලාදේශ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ වසර හතරකට ආසන්න කාලය තුළ එම කණ්ඩායම තුළ කැපී පෙනෙන දියුණුවක් දැකිය හැකිවිය. හතුරුසිංහ බංග්ලාදේශයේදී ද පාලකයන්ගේ හෝ ක‍්‍රීඩකයන්ගේ එහෙයියෙක් නොවීය. එය එසේ වූයේ නම් ඔහුට තවත් වසර ගණනාවක් බංග්ලාදේශයේ සුපිරි වැටුප ලැබීමේ අවස්ථාව තිබුණි. 
හතුරැසිංහ මීට පෙර ශ‍්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ද ක‍්‍රිකට් ලොක්කන්ට හිස නැමුවේ නැත. හිස කෙළින් තබාගෙන තනතුර අතහැර දැම්මේය. මෙවරද ඔහුට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව නොලැබුණහොත් දමා ගසා ගෙදර යනවාට සැක නැත.

හතුරුසිංහ ඉවත් වූ පමණින් බංග්ලාදේශ ටෙස්ට් පිලේ නායකත්වයෙන් මුෂ්ෆිකුර් රහීම් ඉවත් කර ශකීබ් අල් හසන් ද, උප නායකත්වයෙන් තමීම් ඉක්බාල් ඉවත්කර මහුමුදුල්ලා ද පත්කර තිබේ. හතුරුසිංහ සහ බංග්ලාදේශ පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීපදෙනකු අතර ගැටුමක් තිබූ බව ප‍්‍රසිද්ධ රහසකි. බංග්ලාදේශ පිලේ නායක සහ උපනායක වෙනසට හතුරුසිංහගේ ඉවත්වීම බොහෝදුරට හේතුවන්නට ඇත. 

හතුරුසිංහ බංග්ලාදේශය හැර ඒමට එම ගැටුම ප‍්‍රධාන හේතුවක් වූ අතර බංග්ලාදේශ පිලට මේ දක්වා නව පුහුණුකරුවකු නම් කර නැත. ශ‍්‍රී ලංකා පිල ලබන ජනවාරි මස බංග්ලාදේශයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර එම තරගාවලිය හතුරුසිංහගේ පළමු පැවරුම වනු ඇත. 

I සටහන: වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00