ශ්රී ලංකා එක්දින ක‍්‍රිකට් පිල පරාජ අගාධයෙන් පසුගිය ඉරිදා ගොඩට ඇදුණේය. ධර්ම්සාලාහිදී පැවැති පළමු එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පිල කඩුලු 7 කින් ඉන්දියාව පරාජය කරමින් මාස හතරකට පසුව එක්දින ජයක රස බැලීය. ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට පෙර පිට පිටම එක්දින තරග 12ක් පරාජයට පත්ව සිටියෝය. ශ‍්‍රී ලංකා පිල සිම්බාබ්වේ තරගාවලියේ සිව්වැනි තරගයේදී පසුගිය ජූලි මස 8 වැනිදා සූරියවැවදී ලැබූ පරාජයේ සිට එම තරගාවලියේ පස්වැනි තරගය, ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ තරග පහ බැගින් පරාජයට පත්ව සිටියහ.
කෙසේ වෙතත් එම ජයග‍්‍රහණයේ උණුසුම තිබියදී මොහාලිහිදී පැවැති දෙවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 141 ක දැවැන්ත පරාජයක් ලැබීය. ඉන්දියාව ලැබූ එම ජයයෙන් තරගාවලිය 1-1 ක් ලෙස සම වීමෙන් ශ‍්‍රී ලංකාවට පළමුවරට ඉන්දියාවේදී එක්දින තරගාවලිය ජයක් ලැබේද නැද්ද? යන්න අද තීරණය වේ. විසාඛාපට්නම්හිදී අද පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුවහොත් ඉතිහාසයේ පළමුවරට ඉන්දියාවේදී 2-1 ක් ලෙස එක්දින තරගාවලි ජයක් ලබයි.
එම තරගයේදී රෝහිත් ශර්මා නොදැවී රැස්කළ අතිවිශිෂ්ට ලකුණු 208 නොතිබුණේ නම් ශ‍්‍රී ලංකාවට තරගයක් දීමේ හැකියාව තිබුණි. ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් පළමු ඕවර 10 යේදී ධවාන් සහ ශර්මා මර්දනය කළ ආකාරයට තවත් ඕවර 10ක් පමණ පීඩනයේ තබා ගත්තේ නම් ලකුණු 392 කට යෑමට නොහැකි වීමට ඉඩ තිබිණි. ඉන්දීය පිතිකරුවන්ගේ දිනයක් වූ එහිදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ දැඩිව අසාර්ථක වූහ.
මාස හතකට පසුව අන්තර්ජාතික තරගයකදී පන්දු යැවූ අසේල ගුණරත්න එක ඕවරයකට සීමා වූ අතර ඔහු පළමු පන්දු දෙකම පා ඉන්නෙන් එපිටට යැවූ ආකාරය දැකගත හැකි විය. ධර්ම්සාලා තරගය තිසර පෙරේරා නායකයා ලෙස කටයුතු කළ පළමු තරගය වන අතර එහිදී තිසර කාසියේ වාසිය ලැබීම වඩාත් සුබදායි වූ බව පෙනුණි.
ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු නික් පොතාස් මහතා පළමු තරගයෙන් පසුව පැවසුවේ තිසර කාසියේ වාසිය දිනාගැනීම නිසා තමාගේ තරගයේ වීරයා තිසර බවයි. කාසියේ වාසිය ලැබීම කොතරම් තීරණාත්මක වුයේද යන්න පුහුණුකරුගේ එම ප‍්‍රකාශයෙන් වඩාත් පැහැදිලි වේ. තිසර පෙරේරා සතුව නායකත්වයේ හැකියාවන් ඇති බව මෙම තරගයේ ඇතැම් තීරණ දෙස බැලීමේදී සිතිය හැකිය.
‘බළලා මැටියෙන් වුවත් කමක් නෑ මීයො අල්ලවානම්’ යැයි කියමනක් තිබේ. ඒ අනුව නායකත්වයට ලොකු නමක් අවශ්‍ය නැත. වැඩේ හරියට කිරීම පමණක් ප‍්‍රමාණවත්ය. බටහිර ඉන්දීය කොදෙව් පිලේ නම දැරූ ක‍්‍රීඩකයන් රැසක් සිටියදී ඩැරන් සැමී ලෝක කුසලාන දෙකක් දිනාගැනීමට මඟ පෙන්වීය.
වේගපන්දු යවන සුරංග ලක්මාල් අසනීප තත්ත්වයෙන් සිටියදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය පිලේ විනාශකරු බවට පත්විය. ලක්මාල් හොඳ ශරීර යෝග්‍යතාවයෙන් සිටියදී හෝ එක්දින තරගයකදී අඛණ්ඩව ඕවර 10 සම්පූර්ණ කර නොතිබුණි. මෙහිදී තිසර නොබියව එම අවස්ථාව සුරංගට ලබා දුන්නේය. මෙහිදී වෙනත් නායකයකු සිටියේ නම් සුරංගගේ ඕවර කීපයක් ඉනිමේ අවසානයේ යැවීමේ අදහසින් ඉතිරි කරගැනීම ඉඩ තිබුණි. ලක්මාල් තරගයෙන් පසුව පැවසුවේ තමන්ට පන්දු යැවිය හැකිද යන්න විමසමින් නායකයා අඛණ්ඩව පන්දු යැවීමේ අවස්ථාව ලබාදුන් බවයි.
ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක්දින තරගවලදී පන්දු යැවීම ආරම්භ කිරීම ද කණ්ඩායම සමබර කිරීමට වඩාත් ප‍්‍රයෝජනවත් වී තිබේ. මැතිව්ස් එම තරගයේදී පිතිකරුවකු පමණක් වූයේ නම් බොහෝ විට තෙවැනි වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර කැඳවීමට සිදුවේ. එසේ වූයේ නම් වමතින් දඟපන්දු යවන සචිත් පතිරණට හෝ පිට දඟපන්දු යවන අකිල ධනංජයට ස්ථානය අහිමිවීමට ඉඩ තිබුණි.
ඇන්ජලෝ එම තරගයේදී ආරම්භයේ සිට නියමිත ස්ථානයේ පන්දුව පතිත කරමින් කිසිදු කලබලයකින් තොරව ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කළ අකාරය වඩාත් කැපී පෙනුණි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට ආබාධවලින් ගැලවීමට තවමත් නොහැකි වී තිබේ. දිල්ලි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කර සිටියදී පිට කොන්දේ ආබාධයකට ලක්වූ ධනංජය ද සිල්වා මෙම සංචාරයේ ඉදිරි තරග අහිමිවීමේ අවදානමකට පත්ව සිටියේය. ඔහුට ක‍්‍රීඩා කළ හැකි ද යන විශ්වාසය පළමු එක්දින තරගයට පෙර නොතිබූ අතර ඔහු පැවසුවේ එය කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කරනු ඇති බවයි.
ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සංචිතයේ රැඳී සිටියද ඔහුගේ වම් පාදයේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බව පෙනුණි. කෙසේ වෙතත් ඔහු පුහුණු සැසිවලදී පන්දුවට පහර දෙන අතර අවශ්‍යතාව අනුව ඔහු යොදා ගැනීමේ අදහසක් කණ්ඩායම් කළමණාකාරීත්වයේ තිබේ.
යොහාන් භාසුර - ඉන්දියාවේ මොහාලි සිට..