2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ඉන්දීය ක‍්‍රිකට් ලොක්කන්ට ඉහළ උසාවියෙන් කනේ පහරක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

ලොව පුරා අත්තනෝමතික ක‍්‍රිකට් පාලකයන්ට උණ ගන්නා අධිකරණ නියෝගයක් පසුගිය සතියේ ඉන්දියාවෙන් නිකුත් විය. ක‍්‍රිකට් ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කරන සෙසු රටවල්වල පාලකයන්ට ද මෙම අධිකරණ නියෝගය සමගින් හීන් දහඩිය දැම්මාට සැක නැත. 

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බලවතාගේ සුක්කානම අතේ තිබූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් ඨාකූර් සහ එහි ලේකම් අජේ ශ්‍රෙයික් යන මහත්වරුන්ට තනතුරෙන් ඉවත්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සඳුදා නියෝගයක් නිකුත් කළේය. 

එම නියෝගයත් සමඟ ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනය සඳහා කමිටුවක් පත්කිරීමට නියමිත අතර බොහෝ විට එහි ප‍්‍රධානියා බවට ඉන්දීය හිටපු නායකයකු වන සව්රව් ගංගුලි පත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ. එම කමිටුව මේ මස 19 වැනිදා පත්කිරීමට නියමිතය.

ඉන්දියාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සංගමයක් වන බෙංගාල් ක‍්‍රිකට් සංගමයේ වර්තමාන සභාපතිවරයා වන සව්රව් ගංගුලි විදේශ මධ්‍ය වෙත පවසා තිබුණේ තමන් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය බාර නොගන්නා බවයි. 
ඉන්දීය ක‍්‍රිකට් සභාපති ධූරයට මගේ නම ඉදිරිපත් වීම මම ප‍්‍රතික්ෂේප කරනවා.

මගේ නම සුදුසු නැති තනතුරකට යෝජනා වෙලා තියෙන්නේ. සභාපති ධූරයට මට සුදුසුකම් නෑ. බෙංගාල් ක‍්‍රිකට් සංගමයේ සභාපති ධූරයේ වසරක් කටයුතු කර තිබෙනවා. මට තව වසර දෙකක් පමණ ඉදිරියට තියෙනවා. මට ඉන්දීය ක‍්‍රිකට් සභාපති තනතුරට ඉක්මනින් යෑමේ අවශ්‍යතාවක් නෑ යැයි ගංගුලි පවසා තිබුණි. 

ඉන්දියාවේ විශාලතම ක‍්‍රීඩාංගණ කීපයෙන් එකක් වන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක‍්‍රීඩාංගණය බෙංගාල් ක‍්‍රිකට් සංගමය යටතේ පාලනය වේ.  

 අනුරාග් ඨාකූර් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන අතර උතුරු ඉන්දියාවේ හිමචාල් ප‍්‍රාන්තයේ හිටපු ප‍්‍රධාන ඇමති ප්‍රේම් කුමාර් ධූමාල් මහතාගේ පුත‍්‍රයා ද වේ. දේශපාලන බලය අහස උසට තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඔහුට ගෙදර යෑමට සිදුවේ. 

සභාපති අනුරාග් ඨාකූර්ට අධිකරණයට බොරු සාක්කි දීමේ සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ලෝක ක‍්‍රිකට් පිටියේ මහ කෙරුමා වන ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය දකුණු ආසියාවට වගේම ඉන්දියාවට පොදු දූෂිත ආයතනයක් බව අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් පසුගිය වසර කීපය තුළ අසන්නට ලැබුණු සිද්ධීන් සමඟ පැහැදිලි වේ. 

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ආර්. එම්. ලෝධා මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සකස් කළ ‘ලෝධා’ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙස දුන් නියෝග මඟ හරිමින් ඒවා ක‍්‍රියාත්මක නොකිරීමේ චෝදනාව ද මෙහිදී ක‍්‍රිකට් සභාපතිවරයාට එල්ල වී තිබේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝධා කමිටු වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතු යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජූලි මස 18 වැනිදා නියෝග කළ ද මේ දක්වා ක‍්‍රියාත්මක නොවීමෙන් ගැටලුව උත්සන්න විය. 
අනුරාග් ඨාකූර් මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් මගින් ඔහු අධිකරණයට බොරු සාක්කි දුන් බවට තහවුරු වී තිබේ. ලෝධා කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රජයේ බලපෑමට යටත් වන බව සඳහන් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලිපියක් ඉල්ලා නොසිටි බව එම දිවුරුම් පෙත්සමේ සඳහන්ව ඇති බව වාර්තා වේ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වත්මන් සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා පවසා ඇත්තේ අනුරාග් ඨාකූර් මහතා එවැනි ලිපියක් ඉල්ලා සිටි බවයි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටින ඉන්දීය පුරවැසියන් නොවන පුද්ගලයන්, වයස 70 ඉක්මවූ පුද්ගලයන්, බංකොලොත් භාවයට පත්වූ පුද්ගලයන්, ඇමතිවරුන් මෙන්ම වෙනත් ක්‍රීඩා සමාජ වල ප‍්‍රධානීන්, චෝදනාවන්ට ලක්වූවන් මෙන්ම වසර 9 කට වැඩි කාලයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැඳී සිටි පුද්ගලයන් යන සියලු දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරුවලින් ඉවත්විය යුතු බවට ‘ලෝධා’ කමිටු වාර්තාව නිර්දේශ කර තිබුණි.
මෙම ඉන්දීය අධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනයට ද පරිස්සම් වීමට හොඳ කඩ ඉමක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සතුව ඇති අති විශාල මුදල් සම්භාරය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව තිබුණේ නම් හොඳ  සෙල්ලම් බලා ගැනීමට අවස්ථාව තිබුණි.

♦ සටහන: භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00