බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පසුගිය සතියේ තවත් ප‍්‍රබල පිතිකරුවකු අහිමිවීමෙන් නැවතත් පැරැණි ගැටලුවටම ඇද වැටුණි. ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ක‍්‍රීඩකයන් එකා පිටුපස එකා ආබාධයන්ට ලක්වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර ධම්මික ප‍්‍රසාද් වැනි ක‍්‍රීඩකයන් මේ දක්වා යථා තත්ත්වයට පත් නොවීම දැඩි පාඩුවකි.
ශ්‍රී ලංකා පිල පසුගිය වසරේ ලැබූ ඇදහිය නොහැකි පරාජයන්ට ප්‍රබල ක‍්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම ද ප‍්‍රධාන සාධකයක් බවට පත්විය. ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා අලුත් ආබාධයකට ගොදුරු වීමෙන් තුන්කොන් තරගාවලියේ ඉතිරි තරග අහිමිවිය. සිම්බාබ්වේට එරෙහිව පසුගිය ඉරිදා පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී කුසල් ඇළපත ආබාධයකට ලක්විය. කුසල් මස් පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව වසරකට අධික කාලයක් අඛණ්ඩව ක‍්‍රීඩා කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් තරග සංචාර කීපයක්ම ඔහුට අහිමිවිය.
බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදී කුසල් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 80 ක් සහ 49 ක් රැස්කිරීමට සමත් විය. නායක ඇන්ජලෝ මැතිව්ස් ද මෙම තරගාවලියේ පළමු තරගයේදීම ආබාධයකට ලක්වීමෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණිම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. මැතිව්ස් සහ කුසල් දෙපළ වෙනුවට මේ වනවිට ධනංජය ද සිල්වා සංචිතයට එකතු වී සිටියි.
බංග්ලාදේශයට එරෙහිව පසුගිය බ‍්‍රහසපතින්දා පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලු 10 ක පහසු ජයක් ලබමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එහිදී කුසල්ගේ ස්ථානයේ ක‍්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක දස්කම් දැක්වීම නිසා හිඩැසක් පෙනෙන්නට නොතිබුණි.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිල පැරැණි තත්ත්වයට ඇද දමමින් ඔවුන් ලකුණු 82 කට සීමා කරමින් එම ඉලක්කය කිසිවකු නොදැවී ඕවර 11.5 කදී සම්පූර්ණ කළේය. බංග්ලාදේශයට එරෙහිව අවසන් මහ තරගය ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම ජයග‍්‍රහණයත් සමඟ හොඳ මානසිකත්වයකින් එම තරගයට පැමිණීමේ අවස්ථාව විවර විය.
ශ්‍රී ලංකා පිල පසුගිය ඉරිදා සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් ලබා තුන්කොන් තරගාවලිය පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා සිටියේය. එම තරගයට මැතිව්ස්ගේ ස්ථානයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබූ අතර වනිඳු හසරංග ඉවත් කර එම ස්ථානය ලක්‍ෂාන් සඳකැන්ට ලබා දුන්නේය. තරග දෙකකින් පසුව වනිඳු හසරංග ජාතික කණ්ඩායමට සුදුසු නොවන බව තේරුම් ගැනීම වැදගත්ය. වනිඳු යනු තවදුරටත් අත්දැකීම් ලබා ජාතික කණ්ඩායමට පැමිණිය යුතු ක‍්‍රීඩකයකු බව ඔහු පසුගිය තරග දෙකේදීම ප‍්‍රදර්ශනය කළේය.
එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට තවත් මාස 15 කට පමණ කාලයක් පමණක් ඉතිරිව තිබේ. ඒ හේතුවෙන් නවකයන්ට අත්දැකීම් ලබාදීමට කාලය නොමැති බව ක‍්‍රිකට් පාලනය කරන්නන් තේරීම් ගත යුතුය. හතුරුසිංහ ඇතුළු ක‍්‍රිකට් තීරණ ගන්නන් කළ යුත්තේ වර්තමාන සිටින අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් කිරීමය. එසේ නොමැතිව වනිඳු වැනි ප‍්‍රාථමික තත්ත්වයේ සිටින ක‍්‍රීඩකයන් අත්හදා බැලීම නොවේ.
ටෙස්ට් පිලේ නිත්‍ය පිට දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා සීමිත ඕවර තරගවල පන්දු යැවීමට ප‍්‍රවීණයෙකි. ඩිල්රුවන් නව පන්දුවෙන් අධිවේගී ඕවර තුළදී පන්දු යැවීමට දස්කම් දක්වා තිබුණද නමුත් මේ දක්වා ඔහුට එක්දින පිලට කැඳවීමක් ලැබී නොමැත. ඩිල්රුවන් අවසන් වරට සහභාගි වූ එක්දින පහේදී අධිවේගී ඕවරවලදී පන්දු යවමින් සාර්ථක විය.
හතුරුසිංහ කළ යුත්තේ පතල හරා මැණික් සෙවීම නොව තිබෙන මැණික් ඔප දැමීමය. එය කිරීමට නොහැකි වුවහොත් හතුරුසිංහගේ කාර්යය ද වඩාත් අපහසුවනවාට සැක නැත. ලෝක කුසලානයෙන් පසුව ඊළඟ ලෝක කුසලාන තරගාවලියට තරුණ කණ්ඩායම් සකස් කර ගැනීමට වසර හතරක කාලයක් තිබේ. එහි වගකීම ක‍්‍රිකට් පාලකයන් බාරගත යුතුය.
I සටහන: යොහාන් භාසුර