පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජය ලැබූ පරාජයට විවිධ දේශපාලන අතපසුවීම් බලපෑම් ඇති කළ බවට රජයේ ඇමතිවරු පවසති. මෙම පරාජයට දේශපාලන දුර්වලතා පමණක් නොව ක‍්‍රීඩාවේදී වර්තමාන රජය අනුගමනය කළ ක‍්‍රියාපිළිවෙත බලපෑම් කළ බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලාංකීය ජනතාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පණ මෙන් ආදරය කරති. එසේ තිබියදී ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරන වර්තමාන පාලකයන්ට පසුගිය කාලයේ චෝදනා එල්ල වුවද ක‍්‍රීඩා අමාත්‍යවරයා හෝ ඊට ඉහළ කිසිදු පුද්ගලයෙක් වචනයකින් හෝ පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූහ.
ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රදර්ශනය වූයේ ක‍්‍රිකට් පාලකයන්ගේ පදයට නටන තත්ත්වයකි. රජයේම ප‍්‍රබල ඇමැතිවරයකු මෙන්ම ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක වූ අර්ජුන රණතුංග වරෙක පැවසුවේ වර්තමාන රජයේ ඇමැතිවරයකු වීම පිළිබඳව තමන් ලජ්ජා වන බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය රජයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු වන නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා දරයි. ඒ මහතා ඇතුළු ක‍්‍රිකට් ආයතනයට බරපතළ චෝදනා එල්ල වුවද පාලකයෝ ඇස් කන් පියාගෙන වැජඹුණහ. ජනාධිපතිවරයා විවිධ පුද්ගලයන්ට චෝදනා කළද කුණු ගඳ ගහන ක‍්‍රිකට් ආයතනයේ පාලකයන් රැකගැනීමට සෘජු මැදිහත් වන බවට චෝදනා එල්ල වන්නේ කාලයක සිටය.
ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරයට කොළඹ පුරා යෝධ පුවරු සවිකිරිමේ වගකීම පැවරී තිබුණේද සුමතිපාල මහතාටය. ඔහු ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්ව සති කීපයක් යෑමට පෙර ඔහු ඉවත්කිරීමට සැලසුම් සකස් වුවද එය දේශපාලන උවමනාව මත නතර විය. ක‍්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කර නව පාලනයක් ගෙන ඒමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ද අනුමැතිය පළකර තිබූ බව මීට වසර තුනකට පමණ පෙර වාර්තා විය.
ජනාධිපතිවරයාගේ තවත් සමීපතම සගයකු වන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රසිද්ධියේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සමඟ පැටලුණේය. අමාත්‍යවරයකුට වඩා ශ්‍රී ලාංකිකයන් ලසිත් මාලිංග ඇතුළු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ආදරය කරන බව අමතක නොකළ යුතුය. ලසිත් මාලිංගගේ හැසීරීමේ ප‍්‍රශ්නයක් තිබේ. එය එසේ වුවද ඔහු ශරීරයේ ශක්තිය තිබෙන කාලයේ මහන්සි වී ක‍්‍රීඩා කළ බව අමතක නොකළ යුතුය. එය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ගේ මතකයේ තිබෙන අතර ඔවුහු ඡන්දය පාවිච්චි කිරීමේදී මේ සියලු දේ පිළිබඳව අවධානය යොමු කරති.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් ජාතික කණ්ඩායමේ තේරීම්වලට බලපෑම් කරන බවට චෝදනා එල්ල වූ අතර හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය බාහිර බලපෑම් හේතුවෙන් තේරීම් කමිටුවේ කටයුතුවලින් ඉල්ලා අස්වීමට ද සූදානම් විය. ක‍්‍රීඩකයන්ගේ බඩේ ප‍්‍රමාණය සෙවූ ක‍්‍රීඩා අමාත්‍යවරයා තේරීම්වලට බලපෑම් කිරීම යන ගැටලුව පිළිබඳව අඩු තරමේ ප‍්‍රකාශයක් හෝ කිරීමට කටයුතු කළේ නැත.
ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ආසියාවටම සම්පතක් වන සුසන්තිකා ජයසිංහ අපහසුතාවට පත්වන ආකාරයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බවට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් චෝදනා කළහ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට කිසිදු සේවයක් නොකරන ඇතැමුන්ට සුපිරි වැටුප් ගෙවන ක‍්‍රීඩා අමාත්‍යංශය, සුසන්තිකා වැනි ඔලිම්පික් පදක්කමක් දිනූ ක‍්‍රීඩිකාවක්ගෙන් වැටුප් ගෙවීමට සේවය ඉල්ලා සිටීම විහිළුවක් යැයි කිව හැකිය.
ජාතික ඔලිම්පික් කමිටුවේ තත්ත්වය ද ඊට සමානය. ජාතික ඔලිම්පික් කමිටුව උරුමයක් බවට පත්කරගෙන සිටින ඇතැමුන් ඉවත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිය ද ඉහළ දේශපාලන බලෑම් හේතුවෙන් එයද වැළකුණි. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා යටතේ ක‍්‍රීඩාව දේශපාලනීකරණ වූ බව අමතුවෙන් කිවයුතු නැත. එම දේශපාලනීකරණය හරහා ක‍්‍රීඩාවට ආදරය කරන සහ එහි රැඳීසිටින ජනතාව ආණ්ඩුවෙන් ඈත්වූ බව පැහැදිලිය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට සිද්ධ වූයේ ද මෙම සංසිද්ධියමය. බලය ලැබුණු පසු ඔලුව ඉදිමුවාගතහොත් වර්තමාන ආණ්ඩුවට මෙන් ඕනෑම ආණ්ඩුවකට ජනතාව පාඩම් උගන්වනවාට සැක නැත.
♦ සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි