ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නොමැකෙන සේවයක් කළ ක‍්‍රීඩකයෙකි. ඔහුගේ හැසිරීම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබුණද අගය කළ යුතු ක‍්‍රීඩකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. මාලිංග සම්බන්ධයෙන් කොතරම් ගැටලු තිබුණ ද ඔහුට ශ්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලීන්ගේ හදවතේ තවමත් විශාල ඉඩක් වෙන්ව තිබේ.
තිස්හතර වැනි වියේ පසු වන මාලිංග වසර 15 ක කාලයක් ශ්‍රී ලංකාවට සේවය කළේය. මාලිංග ආබාධයකට ලක්ව සිට නැවත පැමිණද ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කළ බව අමතක නොකළ යුතුය. ඔහු එම කාලය තුළදී ටෙස්ට් තරග 30 කට, එක්දින තරග 204 කට සහ විස්සයි20 තරග 68 කට සහභාගි වී කඩුලු 492 ක් දවාගෙන තිබේ. ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත‍්‍රිත්ව තුනක් දවාගත් එකම ක‍්‍රීඩකයා වන්නේ මාලිංගය.
මාලිංගට මේ වනවිට අවම වශයෙන් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හෝ ස්ථානයක් නොමැත. මාලිංගට නැවත ශ්‍රී ලංකා පිලට පැමිණීමට ඇති අවස්ථාව ඉතාමත් අල්පය. තරැණ ක‍්‍රීඩකයන් දස්කම් අතර සිටීම එයට හේතුවී තිබේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව මාලිංග තුළ අදහසක් තිබෙන බවට ඔහු විදේශ මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශවලින් පැහැදිලිය. ඒ අනුව මාලිංගට ගෞරවාන්විතව ජාතික කණ්ඩායමෙන් සමුගැනීමේ අවස්ථාවක් ලබාදීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ යුතුකම සහ වගකීම බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මීට පෙර ඇතැම් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නාක් මෙන් මාලිංගටද සමුගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. ඒ පිළිබඳව මාලිංගගෙන් විමසිය යුතුය.
ශ්‍රී ලංකාවේදී ලබන 6 වැනිදා ආරම්භ වන ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය මාලිංගට සමුගැනීමට තරගයක් දීමට අවස්ථාවක් කරගත හැකිය. එම තරගය ඉන්දියාවට එරෙහිව තරගයක් නම් වඩාත් ප‍්‍රසංසනීයය. මාලිංගගේ ක‍්‍රිකට් දිවියේ ශ්‍රී ලංකාව හැරුණු විට වැඩිම සේවය ලැබී ඇත්තේ ඉන්දියාවටය. ඉන්දියාවේද මාලිංගට විශාල ප්‍රේක සංඛ්‍යාවක් සිටිති.
මුම්බායි ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරියකු රාජකාරිය පසෙක තබා මාලිංග සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ආකාරය මා හට පියවි ඇසින් දැක ගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මාලිංගට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා යෝජනාවක් හෝ ඉදිරිපත්ව නොමැති බවයි. මාලිංග කළ යුත්තේ ‘මයික්’ ඉදිරියේ එක එක දේවල් දෙඩවීම නොවේ. තමන්ගේ තීරණය කුමක්ද යන්න ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමය.
සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් වැනි ක‍්‍රීඩකයන්ට වඩාත් ආකර්ෂණීය සමුගැනීමක් පිළිගැන්වූ බව මතකයේ තිබේ. මාලිංගට ද ඊට නොදෙවැනි සමුගැනීමක් ලබාදිය යුතු බව ක‍්‍රිකට් ලෝලීන්ගේ අදහසයි. මාලිංගට ලැබෙන ගෞරවය දෙස තරුණ ක‍්‍රීඩකයෝ දෑස් අයාගෙන බලාසිටිති. එයින් තරුණ ක‍්‍රීඩකයෝ වඩාත් අභිෙප්‍ර්රණය වෙති.
භාසුර