2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

“හතු අයියා” ගේ විප්ලවය

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 317

“මෙම ජයග‍්‍රහණය සඳහා අපි ක‍්‍රීඩා කළේ කණ්ඩායමක් හැටියට නොවෙයි. අපි ක‍්‍රීඩා කළේ එක පවුලක් හැටියටයි” බංග්ලාදේශයේ තරග සංචාරයෙන් පසුව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණය වචන බවට පරිවර්තනය කළේ ඉහත ප‍්‍රකාශයෙනි.

“විශේෂයෙන්ම අපි ක‍්‍රීඩකයන්ට බයකින් තොරව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකළා. මම හිතන්නේ ඒක නිසා තමයි අපිට මේ ජයග‍්‍රහණය ලැබුණේ” පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ජයග‍්‍රහණයට ප‍්‍රධාන හේතුව ඉහත ප‍්‍රකාශයෙන් විග‍්‍රහ කළේය. මෙම ප‍්‍රකාශ හුදු ප‍්‍රකාශයක් ලෙස අතහැර දැමිය නොහැක. ශ‍්‍රී ලංකා පිලේ පසුගිය වසරේ අඛණ්ඩ පරාජයන්ට කණ්ඩායම තුළ තිබුණේ යැයි කියන ප‍්‍රශ්න සහ ක‍්‍රීඩකයන්ට ස්ථාවර වීමට අවස්ථාව නොදී, වඩාත් බලපෑම් කර ඇති බව එම ප‍්‍රකාශවලින් වඩාත් පැහැදිලි වේ.

ජාතික කණ්ඩායම එම වසරක පමණ කාලයක් තුළ නායකයන් පස් දෙනකු අතට පත්වූ අතර පුහුණුකරුවන් සහ කළමනාකරුවෝ ද නව පත්වීම් ලැබූහ. මෙම පාර්ශ්ව කීපය තුළ ගැටලු තිබූ බව ප‍්‍රසිද්ධ රහසකි. නායක ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය. ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් වසර කීපයක ගිවිසුම් කොන්ත‍්‍රාත්තුව තිබියදීම ඉවත්ව ගියේය. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්විය. මෙම හැලහැප්පීම් අතරතුර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගෙන් ජාතික කණ්ඩායමේ තේරීම්වලට බලපෑම් ඇති බවට ද චෝදනා එල්ල විය. 
තරග පරාජය වනවිට හිටපු ක‍්‍රීඩකයන් ඇතුළු ඇතැම්හු ක‍්‍රීඩකයන්ගේ පැත්තට ද ඇඟිල්ල දිගු කරන්නට වූහ. එම චෝදනා පිළිබඳව කටයුතු කරන ලෙස ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලීමක් ද කර තිබුණි.

“හතූ අයියා” එසේ නැත්නම් චන්දික හතුරැසිංහ මහතා පුහුණුකරැ ධුරය බාර ගැනීමෙන් පසුව කණ්ඩායමේ පැහැදිලි වෙනසක් සිදුවී ඇති බව හැඟී යයි. කණ්ඩායම තුළ ප‍්‍රශ්න අවම කරමින් ඉදිරියට යෑමේ සැලැස්මක් ඇති බව පෙනේ. හතුරැසිංහ සියලු පාර්ශ්ව එක මතයකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව පැහැදිලිය. ඔහු එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ කිරීමේ හැකියාව ඇති පුද්ගලයකු බව ද ඔහු ගැන දන්නෝ දනිති.

ශ‍්‍රී ලංකා පිල පසුගිය කාලයේ ලද පරාජයන් ක‍්‍රීඩකයන් බියට පත්කර සිටීමට හේතු වී තිබේ. අද තරගයේදී අසාර්ථක වුවහොත් ඊළඟ තරගයේදී වතුර ඇදීමට වේ යැයි ක‍්‍රීඩකයන් තුළ ඇතැම් නිලධාරීන් බියක් නිර්මාණය කර තිබුණි. ඒ හේතුවෙන් විශේෂයෙන් පිතිකරුවෝ නිදහසේ පහර කරා යෑමට අපොහොසත් වූහ. හිටපු තේරීම් කමිටුවේ ඇතැමුන්ට නුරුස්සන ක‍්‍රීඩකයන් එංගලන්තයේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණී බව බොහෝ දෙනෙකුගේ මතකයට එනවාට සැක නැත.

කුසල් ජනිත් ආබාධයකට ලක්වීම නිසා විස්සයි20 පිලට එකතු වූ කුසල් මෙන්ඩිස් තරග දෙකේදීම අනගි අර්ධ ශතක දෙකක් රැස්කරමින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීමට ක‍්‍රීඩකයන්ගේ මනස නිදහස් යැයි කීමට හොඳම නිදසුනකි. “කුසල් ඔයා ගහන විදියට ගහන්න. ඔයාගේ පහරට ඔයා යන්න. අපි ඔයාට ඊළඟ මැච් එකත් දෙනවා” යැයි කුසල්ට උපදෙස් ලැබුණි. කුසල් එම ප‍්‍රකාශ පිළිබඳව විශ්වාසය තබා නිදහසේ පිත්ත හැසිරවීය. කුසල්ගේ එම ඉනිම දෙක ශ්‍රී ලංකා ජයග‍්‍රහණයට ප‍්‍රධාන සාධකයක් බවට පත්විය.  කුසල් යනු තේරීම් කමිටුව අහක දැමූ සම්පතක් බව බොහෝ දෙනකු දන්නා කරුණකි. ධනුෂ්ක ගුණතිලක ද බංග්ලාදේශ සංචාරයේදී කැපී පෙනුණි. ඔහුට ද පිටිය මැදදී ලැබුණු නිදහසින් ප‍්‍රයෝජනය ගත්තේය.

තිසර පෙරේරා ද බංග්ලාදේශ සංචාරයේ කැපී පෙනෙන ක‍්‍රීඩකයෙක් බවට පත්විය. හතුරුසිංහගේ සෘජු මැදිහත්වීමෙන් තිසර පුනරුත්ථාපනය වෙමින් සිටින බව මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයකින් කියවිණි. “අපි තිසර සමඟ කථා කළා. ඔහුගේ අවස්ථාව මොකක්ද කියලා පැහැදිලි කළා. ඒ වගේම තිසරගේ පුහුණු සැළැස්ම තරමක් වෙනස් කළා. එය ඔහුගේ සාර්ථකත්වයට හේතුවෙන්න ඇති.” ඉහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ තිසරට ඔහුගේ අගය පිළිබඳව පාඩමක් කියාදී ඇති බවයි. මෙතෙක් කලක් තිසර තමන්ගේ වටිනාකම තේරුම් ගැනීමට අසමත්ව සිටියේය. ඒ හේතුවෙන් වරක් දෙවරක් නොව අවස්ථා කීපයකදීම කණ්ඩායමෙන් ඉවතට විසිවිය. 

බංග්ලාදේශයේදී පැවැති සමස්ත තරගාවලිය ජය ලබා ශ‍්‍රී ලංකා පිල කාලයකට පසුව සම්පූර්ණ සංචාරයක් ජයග‍්‍රාහිව අවසන් කිරීම ඉදිරි තරගාවලි සඳහා වඩාත් වැදගත් වේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිලට ආබාධ ප‍්‍රශ්නයෙන් ගැලවීමට තවදුරටත් නොහැකි වී තිබේ. ඇන්ජලෝ මැතිව්ස් කියන ආකාරයට එය කිසිදු ක‍්‍රීඩකයකුට පාලනය කළ නොහැකි තත්ත්වයකි.  

ශ‍්‍රී ලංකා නව වේගපන්දු සොයා ගැනීම වන ෂෙහාන් මධුෂංක ද බංග්ලාදේශට එරෙහිව අවසන් විස්සයි20 තරගයේදී මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්විය. ඔහුට ද එළඹෙන ‘නිදහස් කුසලාන’ විස්සයි20 තරගාවලියේ අහිමිවේ. නායක ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා සහ අසේල ගුණරත්න යන තිදෙනාද බංග්ලාදේශ සංචාරය අතරතුරදී ආබාධයන්ට ලක්වීමෙන් තරග අහිමිවූහ.

නිදහස් කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව මේ වනවිට දකුණු අප‍්‍රිකානු පිල තලා ද. අප්‍රිකාවේදීම පොඩිපට්ටම් කරමින් සිටියි. විස්සයි20 විශේෂඥයන් වන ඉන්දීය පිලට එරෙහිව ජය ලැබීමට නම් මෙම ජයග‍්‍රාහි මානසික තත්ත්වයක සිටිය යුතුමය.

♦ සටහන: යොහාන් භාසුර