2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ආසියානු ක්‍රිකට් මූලස්ථානය දැන් නියම ’’සුදු අලියෙක්’’

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දෝතින් බදාගත් ආසියානු ක‍්‍රිකට් සංගම් මූලස්ථානය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ‘සුදු අලියෙක්’ බවට පත්ව ඇති බව වාර්තා වේ. කිසිදු ප‍්‍රතිලාභයක් නැතැයි කියන ආසියානු ක‍්‍රිකට් මූලස්ථානය වසර 10ක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වන බවට ආරංචි පැතිර යයි.

ආසියානු ක‍්‍රිකට් මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් මේ දක්වා හිමිවී නැති බවත් ඉන් අනවශ්‍ය වියදමක් පමණක් නිර්මාණ කරගත් බවත් බොහෝ දෙනෙක් පවසති.

ආසියානු ක‍්‍රිකට් මූලස්ථානය ලබාගැනීමට ඉන්දියාව සහ මැලේසියාවද ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමේ බදු සහන ලබාදෙමින් එය කොළඹට ලබාගත්තේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩ ගබඩාව පැවැති ස්ථානයේ ආසියානු ක‍්‍රිකට් මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් මිලියන 17ක් හෙවත් රුපියල් ලක්‍ෂ 170ක් වියදම් කළ ඇති බව පැවසේ. 

ආසියානු ක‍්‍රිකට් සංගමයේ සංවිධානයෙන් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු යොවුන් ක‍්‍රිකට් ශූරතාවලියෙන්ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට වාසියක් නොවූ බව වාර්තා වේ. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වියදම් වූ මුදලින් අඩක්වත් නොලැබුණු බවද දැනගන්නට තිබේ. 

ආසියානු ක‍්‍රිකට් සංගම් මූලස්ථානය කිසිඳු ප‍්‍රයෝජනයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවද. එම ගොඩනැගිල්ල නිරන්තරයෙන් පාළුවට ගොස් තිබෙන බව තතු දන්නෝ පවසති. 

මෙම මූලස්ථානය ශ්‍රී ලංකාවට ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් පැවසුවේ මෙය ශ්‍රී ලංකාවට ලැබෙන විශාල සම්පතක් බවයි. නමුත් මේ වන විට එසේ නොවන බව පැහැදිල වී තිබේ. 

සටහන: භාසුර
ඡායාරූපය: ඉසුරු පෙරේරා