ශ්රී ලංකා විස්සයි20 පිලේ පන්දු යැවීම පිළිබඳව පසුගිය සතිය වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබුණි. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වඩාත් තීරණාත්මක අවස්ථාවලදී ‘ෆුල්ටොස්’ සහ ‘බීමර්’ පන්දු යැවීම දැඩි අවාසියක් බව අමුතුවෙන් කිවයුතු නැත.
“මෙයාට මුලින්ම බෝලෙ පිච් කරන්න උගන්වන්න ඕනේ. නැත්තන් පීඩනයේ පන්දු යවන්න කවුරැත් නැති වෙයි” යැයි කි‍්‍රකට් දැනුමැත්තෝ පැවසූහ.
‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පසුගිය සිකුරාදා (16) පැවැත්වීමට නියමිත තරගය දක්වා බලා සිටීමට සිදුවිය. ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණීමට නම් එම තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීම අනිවාර්ය වී තිබුණි.
බංග්ලාදේශයට එරෙහිව පසුගිය සෙනසුරාදා පැවැති තරගයේදී ලකුණු 214 ක් ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ලංකා පිල අසමත් වීමෙන් පසුව බංග්ලාදේශ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් අවසානයේ පෙනේ පිප්පුවේය. එම තරගයේ 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුව දක්වා තරගයේ වාසිය ශ්‍රී ලංකාව සතුව තිබුණ ද නුවන් ප‍්‍රදීප් එහි පස්වැනි පන්දුව ‘ෆුල්ටොස්’ පන්දුවක් ලෙස යැවීමෙන් තරගය කණපිට පෙරළුණි. නුවන් ප‍්‍රදීප් එම ඕවරයේ පෙර පන්දු හතරම ලකුණු 3 කට යැවූවද අවසන් පන්දු දෙකට ලකුණු 7 ක් එකතු වීමෙන් අවසන් ඕවරයට ලකුණු 9 ක පහසු ඉලක්කයක් බාරවිය.
ශ්‍රී ලංකා පිලේ විස්සයි20 විශේෂඥයා වන තිසර පෙරේරාට මෙම පරාජයේ විශාල කොටසක් හිමිව තිබේ. තිසර පෙරේරා යැවූ ඉනිමේ 16 වැනි ඕවරයේ අවසන් පන්දුව ‘බීමර්’ පන්දුවක් වීමෙන් එයට මහුමුදුල්ලා ගැසූ හයේ පහරත් සමගින් ලකුණු 7 ක් එකතු විය. ඉන්පසුව ලැබුණු නිදහස් පන්දුවට ගැසූ හතරේ පහරත් සමගින් එම ඕවරයේදී බංග්ලාදේශයට ලකුණු 18 ක් එකතු විය.
පීඩනයත් සමඟ පන්දු යවන්නන් විවිධ දේවල් කිරීමට යාමේ ප්‍රතිඵලය වූයේ පිතිකරුට පිත්තටම පන්දුව ලැබීමය. ඉන් ප‍්‍රයෝජනය ගත් බංග්ලාදේශ පිතිකරුවෝ ඉතිහාසගත ජයක් ලැබූහ. නුවන් ප‍්‍රදීප් ‘යෝකර්’ පන්දුවක් යැවීමට කළ උත්සාහය ‘ෆුල්ටොස්’ පන්දුවක් වූවාට සැක නැත. පන්දු යවන්නකු විදියට එවැනි අවස්ථාවක තමන්ට වැඩි විශ්වාසයක් ඇති උපක‍්‍රමය පමණක් භාවිත කළ යුතුය.
නුවන් ප‍්‍රදීප් සහ තිසර පෙරේරා තීරණාත්මක අවස්ථාවේදී සිය සුපුරුදු පන්දු යැවීමේ නිරත වූයේ නම් බංග්ලාදේශයට එරෙහිව තරගයේ ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. එය එසේ වූයේ නම් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගයට නිදහස් මනසින් සහභාගි වීමේ අවස්ථාව තිබුණි.
ඉන්දියාවට එරෙහිව තරගයේදී පිතිකරුවන් වගකීම් විරහිතව පන්දුවට පහරදීම හේතුවෙන් ලකුණු 152 කට සීමාවිය. රෝහිත් ශර්මා, ශීකර් ධවාන් සහ සුරේෂ් රයිනා වැනි පිතිකරුවන්ට එවැනි ලකුණු සංඛ්‍යාවක් අභියෝගයක් නොවේ.
එම තරගයේදී ශ්‍රී ලංකා පිල මන්දගාමීව ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක් තහනම් වීම ශ‍්‍රී ලංකා පිලට දැඩි බලපෑමක් ඇති කළේය.
චන්දිමාල් නායකයකු හැටියට නැවත පැමිණිමේදී වඩාත් සාර්ථක බවක් පෙන්නුම් කළ අතර ඔහුට කණ්ඩායම ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාවක් ඇති බව ප‍්‍රදර්ශනය කළේය. අවසන් මහ තරගය අද පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව එම තරගයට සුදුසුකම් ලැබුවහොත් චන්දිමාල්ට කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිවේ.
මෙම තරග නැරඹීමට විශාල ප්‍රේක සංඛ්‍යාවක් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි අතර ශ්‍රී ලංකා පිල පරණ සිංන්දුවම ගායනා කළහොත් පේ‍්‍රක්‍ෂකයන් නැවතත් ‘හූ’ අවිය පාවිච්චි කරනවාට සැක නැත.
♦ සටහන: යොහාන් භාසුර