2018 මාර්තු 31 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රෝස වසන්තය ඇරඹේ

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පසුගිය සිකුරාදා ආරම්භ වූ අන්තර් පළාත් ‘සුපිරි හතර පළාත් ක‍්‍රිකට් තරගාවලිය 2018’ සිවුදින ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන තරගාවලියක් බවට පත්ව තිබේ. මෙම තරගාවලියේ දෙවැනි සතිය යටතේ ලබන 8 වැනිදා සූරියවැව සහ දඹුල්ල යන ක‍්‍රීඩාංගණවල පැවැත්වෙන තරග දෙක දිවා/රාත‍්‍රී තරග ලෙස පැවැත්වේ. ඒ අනුව මෙම තරග දෙක ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු දිවා/රාත‍්‍රී සිවුදින තරග ලෙස ඉතිහාසයට එකතු වේ. 

මෙම තරග දෙක බොහෝ ක‍්‍රීඩකයන්ට නව අත්දැකීමක් බවට පත්වනවාට සැක නැත. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ක‍්‍රීඩකයන් පමණක් දිවා/රාත‍්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා පිලේ මීළඟ ටෙස්ට් තරගාවලිය වන බටහිර ඉන්දීය කෙදෙව් සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගය බාබඩෝස්හිදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ හේතුවෙන් මෙම තරග දෙකෙන් ලැබෙන පුහුණුව වඩාත් වැදගත් වී තිබේ. 

මෙම තරග දෙක ‘රෝස’ පැහැති පන්දුවෙන් පැවැත්වෙන අතර එයද බොහෝ ක‍්‍රීඩකයන්ට නව අත්දැකීමක් බවට පත්වෙයි. මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරට වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් 80 කට ආසන්න සංඛ්‍යාවක් සංචිතගත කර සිටිති. 

කොළඹ පිලේ නායකයා ලෙස ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මහනුවර පිලේ නායකයා ලෙස එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ගාල්ල පිලේ නායකයා ලෙස ටෙස්ට් පිලේ උපනායක සුරංග ලක්මාල් සහ දඹුල්ල පිලේ නායකයා ලෙස ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරැ දිමුත් කරුණාරත්න කටයුතු කරති.

සෑම සංචිතයකටම වයස 19 න් පහළ ක‍්‍රීඩකයන් දෙපළ බැගින් ඇතුළත් වන අතර ඔවුන් තරගයකට ක‍්‍රීඩා කළ යුතු යැයි අනිවාර්ය නොවේ. මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ක‍්‍රීඩාවේ විනය පවත්වා ගැනීම සියලු ක‍්‍රීඩකයන්ගේ වගකීමක් බවයි.

ඕස්ට්‍රේලියානු ක‍්‍රීඩකයන්ට වෙලා තියෙන දේ අපි දැක්කා. වැලි කඩදාසි පාවිච්චිය. අපේ ක‍්‍රීඩකයො එහෙම කරන්නේ නෑ යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.

වේගපන්දු යවන්නන්ට වාසිදායක ලෙස පන්දුව සකස් කරගැනීම සඳහා පන්දුව පළුදු කිරීම සඳහා ආවරණය ලබාගැනීමට බොහෝ ක‍්‍රීඩකයන් ‘ප්ලාස්ටර්’ පාවිච්චි කරන බව වාර්තා වේ. තුවාලයක් තිබුණත් නැතත් ප්ලාස්ටර් තොගයක් ඇඟිලිවල ඔතාගෙන සිටීම ඇතැම් ක‍්‍රීඩකයන්ගේ පුරුද්දක් බවට පත්ව ඇති බව වාර්තා වේ.  

 සටහන: යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00