2018 මාර්තු 31 වන සෙනසුරාදා

ගෝල්ඩ්කෝස්ට් ක්‍රීඩා උළෙල : නම් හැංගූ ලිස්ට් එකක් ඇමැතිගේ අනුමැතියට යවලා!

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ලබන අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන XXI වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල පසුගිය සතිය වනවිට ශ්‍රී ලංකාවට සැබැවින්ම විනෝද චාරිකාවක ස්වරෑපය ගෙන තිබුණි. රජයේ ප‍්‍රබල ඇමැතිවරැන්ගේ බලකිරීමට විවිධ පුද්ගලයෝ ක‍්‍රීඩා උළෙලට නිල සහ නිලනොවන ලෙස ඇතුළත්ව සිටිති. නිලනොවන ලෙස ක‍්‍රීඩා උළෙලට සහභාගි වන 20කට වැඩි සංඛ්‍යාවක් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කළ 118 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ඇතුළත්ව නොසිටි බව දැනගන්නට තිබේ.

මෙම කණ්ඩායම මේ වනවිට අවස්ථා කීපයකදී සංශෝධනය වී ඇති අතර ඉදිරි දින කීපයේදී තවදුරටත් සංශෝධනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ. රග්බි ක‍්‍රීඩාවට සම්බන්ධ යැයි කියන රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු ඔහුගේ ක‍්‍රීඩා සමාජයකට සහාය දක්වන්නේ යැයි කියන පුද්ගලයන් කීපදෙනකු ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයට බලපෑම් කර ඇති බවට ද තොරතුරු දැනගන්නට තිබේ. 

මෙම සටහන තබන මොහොත වනවිට බර ඉසිලීමේ, පිහිනුම් සහ මලල ක‍්‍රීඩා යන කණ්ඩායම් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබුණි. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ පිරිසක්ද මේ වනවිටත් ගෝල්ඩ් කෝස්ට් නුවරට ළඟාවී සිටින බව වාර්තා වේ. එම කණ්ඩායමට මලල ක‍්‍රීඩාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 ක් සහ නිලධාරීන් 5 ක් සමගින් 18 ක් ඇතුළත්ව සිටියහ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ජල ක‍්‍රීඩා සඳහා 12 ක්, මලල ක‍්‍රීඩා සඳහා 18 ක්, බැඩ්මින්ටන් සඳහා 12 ක්, වෙරළ වොලිබෝල් සඳහා 3 ක්, බොක්සිං සඳහා 9 ක්, පාපැදි ක‍්‍රීඩා සඳහා 4 ක්, ජිම්නාස්ටික් සඳහා 6 ක්, සත් සාමාජික රග්බි සඳහා 15 ක්, වෙඩි තැබීම සඳහා 4 ක්, ස්කොෂ් සඳහා 3 ක්, මේසපන්දු සඳහා 8 ක්, බර ඉසිලීම සඳහා 15 ක් සහ මල්ලවපොර සඳහා 5 ක් ලෙස ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහ නිලධාරීහු 114 ක් සහභාගි වෙති.  

ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස චන්දන බී. ලියනගේ මහතා පත්කර තිබුණි. ඊට අමතරව ඔලිම්පික් කමිටු නිලධාරියා, කාන්තා බාර නිලධාරිනිය සහ පරිපාලන නිලධාරියා ලෙස තිදෙනෙක්ද සංචාරයට සහභාගි වෙති. සමස්ත කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස මීට පෙර පත්කර තිබූ නිලධාරියා ඉවත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබුණි. 

මෙවැනි දැවැන්ත ක‍්‍රීඩා උළෙලට මෙවැනි දැවැන්ත කණ්ඩායමක් සහභාගි කරවීම කොතරම් ප‍්‍රයෝජනවත් ද යන්න මෙහිදී සැළකිල්ලට ගතයුතුය. මේ සඳහා වැයවන රැපියල් මිලියන ගණනක දැවන්ත වියදම ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් දැරිය යුතුය. පසුගිය සතියේ මැද වනවිට 118 දෙනකුගෙන් සමන්විතව සකස්කර තිබූ කණ්ඩායමට අමතරව තවත් විශාල සංඛ්‍යාවකට ක‍්‍රීඩා අමාත්‍යංශය වියදම් දරයි. මෙම මුදල් ක‍්‍රීඩා අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු ගෙදරින් ගෙන ඒවා නොව මේ රටේ ජනතාවගේ බදු මුදල් බව අමතක නොකළ යුතුය. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි