ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කවදත් ලිහාගත නොහැකි තරම් ව්‍යාකූල වූ තත්ත්වයක පැවතුණි. කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පාලනයට කාලෙන් කාලයට පාත්වෙන නිලධාරීන්ගේ ඇවිලීමේ හැකියාව අනුව තත්ත්වය වෙනස් වේ. වර්තමාන කාන්තා ක‍්‍රිකට් පිලේ පාලනයට ගිනි ඇවිලීමට උපන් හපන්කම් ඇති පිරිසක් එක්රොක් වී සිටීමෙන් වර්තමාන ජාතික කාන්තා ක‍්‍රිකට් පිල උණුසුම්වී තිබේ.
පාකිස්තානු කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ පසුගියදා පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ අළු යට ගිනි මතුවීමට පටන්ගෙන තිබේ. ශ‍්‍රී ලංකා කාන්තා පිල පාකිස්තානු සංචාරයට පිවිසුණේ චමරි අතපත්තුගේ නායකත්වයෙනි. එහිදී අතපත්තු නායකත්වය බාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ අතර තේරීම් කමිටුවේ ඉල්ලීම පරිදි පසුව නායකත්වය බාරගැනීමට කැමැත්ත පළකර තිබුණි.
චමරි අතපත්තු යනු ලෝක පූජිත ක‍්‍රීඩිකාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හේතුවෙන් තේරීම් කමිටුව එහිදී එළඹි තීරණය වඩාත් ප‍්‍රයෝජනවත් බව කාන්තා ක‍්‍රිකට් පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනා පවසති. තවද චමරි අතපත්තු යනු කණ්ඩායම ඉහළට ගෙන ඒමේ සැබෑ වුවමනාවක් ඇති චරිතයකි. ඇය ක‍්‍රීඩාවට අප‍්‍රමාණ උනන්දුවක් දක්වන බව අපි දැක තිබේ. අතපත්තු, පාකිස්තානයට එරෙහිව අසාර්ථක වූවාය. ඇය තරග දෙකකදී අසාර්ථක වනවිට පිතිකරු ලැයිස්තුවේ පසුපසට තල්ලු කළේ නම් ඇයගෙන් මීට වඩා සේවයක් ලබාගැනීමට අවස්ථාව තිබුණි. එසේ වූයේ නම් තරගාවලියේ ප‍්‍රතිඵලයද වෙනස්වීමට ඉඩ තිබුණි. අතපත්තු බිල්ලට දී ඇය නායකත්වයෙන් ඉවත්කිරීමේ මෙහෙයුමක් යටින් ක‍්‍රියාත්මක වී තිබීම හේතුවෙන් එය කළ නොහැකි විය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කරමින් එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ජය ලැබීමෙන් පසුව ජයග‍්‍රාහි මානසිකත්වය ආරක්‍ෂා කරගැනීමට තෙවැනි තරගයේදී තරගයේදී අවස්ථාව තිබුණි.
කෙසේ වෙතත් කණ්ඩායමේ නිලධාරියෙක් වෙනත් කිසිවකුගේ අදහස් තඹ දොයිතුවකට මායිම් නොකර පිතිකරු ලැයිස්තුව වෙනස් කළේය. ඒ හේතුවෙන් කණ්ඩායම ලකුණු 75 කට සීමාවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පාලකයන්ට කාන්තා ක‍්‍රිකට් දියුණු කිරීමේ සැබෑ උවමනාවක් තිබේ නම් අදාළ නිලධාරියාගෙන් පිතිකරු ලැයිස්තුව වෙනස්කිරීම පිළිබඳව කරුණු විමසීමේ පරීක්‍ෂණයක් පවත්වා සුදුසු පියවර ගතයුතුය. ක‍්‍රිකට් ආයතනය පැත්තෙන් එවැනි දෙයක් නොවන බවට අදාළ නිලධාරීන් නියත වශයෙන්ම දන්නා නිසා තරග පරාජය අවසානයේ මේසය මතට හිඳගෙන සතුටු සාමීචියේ යෙදීම පුරුද්දක් කරගෙන තිබේ.
අනුෂ්කා සංජීවනී, ඉමල්කා මෙන්ඩිස්, රෙබේකා වැන්ඩට් සහ සුගන්ධිකා කුමාරි යන තරුණ ක‍්‍රීඩිකාවන් ක‍්‍රීඩා කළ ආකාරය දෙස බැලීමේදී අපට දක්ෂ ක‍්‍රීඩිකාවන් නැතැයි කිසිවකුට කිව නොහැක. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ජයග‍්‍රහණ වෙත ගෙන ඒමට නම් කළ යුත්තේ එවැනි තරුණ ක‍්‍රීඩිකාවන්ට හැකි උපරිමයෙන් තරග අත්දැකීම් ලබාදෙමින් නිවැරදි උපදෙස් මත මෙහෙයවීමය.
කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් වූ පමණින් එය අදාළ කරගෙන ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක‍්‍රීඩිකාවන් ගැටුම්වලට යෙදවීම නොකළ යුතු බව කවුරුත් අමතක නොකළ යුතුය. වෙනත් කළ යුතු දෙයක් නොවීමෙන් පත්වීම් ලැබූ නිලධාරීන්ට වඩා කාන්තා ක‍්‍රිකට් පිටියේ මෙතෙක් හිටපු නිලධාරීන් සහ හිටපු ක‍්‍රීඩිකාවන් කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව හොඳ අවබෝධයෙන් පසු වන බව ක්ෂේත්‍රයේ අදහසය.
ශ්‍රී ලංකාවේ නමගිය හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ හයිය සමගින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට සමඟ දුරකථනයෙන් පවා ගනුදෙනු කළ හැකි බව පවසන නිලධාරිනියක් කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැනසීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරිය බවට පත්ව සිටින බව වාර්තා වේ. ‘මැඩම්’ උණෙන් පෙළෙන්නේ යැයි කියන අදාළ නිලධාරිනිය ක‍්‍රිකට් තරග නරඹා තිබුණද කවදාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාකර නොමැත. පවුලේ සාමාජිකයන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කර තිබීම ක‍්‍රිකට් පරිපාලනයට හෝ සුදුසුකම් නොවේ.
මෙවැනි සුදුසුකම් නැති පුද්ගලයන් පරිපාලනයට පත්කළ වර්තමාන ක‍්‍රිකට් නිලධාරීන්ගේ වගකීම තමන් පත්කළ පුද්ගලයන් කටයුතු කරන ආකාරය පිළිබඳව පියවි සිහියෙන් සිටීමය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් ගතු අසන්නන් සහ ගතුවලට ක‍්‍රියාත්මක වෙන්නන් බව වඩාත් පැරණි පුවතකි. එය එසේ නොවේ නම් ඇතැම් නිලධාරීන්ගේ කාර්යාල කාමරවල ‘මයිනන්’ පදිංචි වී නොසිටිති.
♦ සටහන: වරකාගොඩ ගමගේ
සේයාරුව : ළහිරු හර්ෂණ