ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලට මෑතකදී එකතු වූයේ යැයි කියන නිලධාරියකු මෙම බලපෑම කරන බව දැනගන්නට තිබේ. එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම ගුරුසිංහ ඉවත්කළ යුතු යැයි අදාළ පුද්ගලයා ගෝරනාඩු කරන බව වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීහු ගුරුසිංහ මහතා ඉවත්කිරීමේ සැබෑ හේතුව සඟවමින් නව වගකීම් රැසක් බාරදීමට සූදානම් වෙති. ලබන මස ඒ මහතා නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය. ගුරුසිංහ මහතා පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.
“එංගලන්තයේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම සකස් කිරීමේ වඩාත් වැදගත් කාර්යයට අංසක ගුරුසිංහ මහතා යොදවන්න අපි තීරණය කර තිබෙනවා. සමස්ත ජාත්‍යන්තර ක‍්‍රිකට්, ඉහළ දස්කම් කළමනාකරණය, නව තාක්‍ෂණ මධ්‍යස්ථානයේ, ඒ වගේම කාන්තා ක‍්‍රිකට් යන අංශ රැසක වගකීම් ගුරුසිංහ මහතාට බාර දෙනවා.”
සභාපතිවරයා මෙසේ පැවසුවද මෙහි සැබෑ හේතුව නව ක‍්‍රිකට් නිලධාරියාගේ ඉල්ලීම බව ක‍්‍රිකට් මූලස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග සනාථ කරයි.
ගුරුසිංහ මහතා කළමනාකරු ධූරයට අමතරව තේරීම් කමිටු සාමාජිකයකු ලෙසද, සංචාර අතරතුරදී තේරීම් කමිටු සභාපතිවරයා ලෙසද, කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය බරපතළ වී තිබේ. ගුරුසිංහ කළමනාකරු ධූරයෙන් ඉවත් වන්නේ නම් තේරීම් කමිටුවෙන්ද ඉවත් කළයුතුව තිබේ. එසේ වුවහොත් නව කළමනාකරුට තේරීම් කමිටු සාමාජිකත්වය දෙන්නේද, තේරීම් කමිටු සාමාජිකත්වය පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ලබා දෙන්නේද යන තීරණයට ක‍්‍රිකට් ආයතනයට එළඹීමට සිදුවනු ඇත.
තිලංග සුමතිපාල මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ මාධ්‍යයටත් හොඳ, කණ්ඩායමටත් හොඳ නව කළමනාකරුවකු පත්කරන බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සතිය පුරාම කළමනාකරුවකු පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි බවද දැනගන්නට තිබේ. ඒ අනුව සියලු හැකියාවන් ඇති කළමනාකරු පත්කිරීමේ වගකීම ක‍්‍රිකට් ආයතනය සතුය. තේරීම් කමිටුවේ නිල කාලය ලබන මස 15 වැනිදා අවසන් වීමට නියමිතය. ඉන්පසුව තේරීම් කමිටුවටද තමන්ගේ හිතවතුන් පිරිසක් පත්කර ගැනීමට අදාළ කණ්ඩායම් නිලධාරීයා සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඇතුළු කණ්ඩායම් කීපයකට පුහුණුකරුවන් පත්කිරීමට මේ වනවිට අයැදුම්පත් කැඳවා තිබුණද සම්මුඛ පරීක්‍ෂණ නොපැවැත්වීම පිටුපසද එම නිලධාරියා සිටින බව වාර්තා වේ. ඔහුත් සමඟ විදේශ රටක කටයුතු කළේ යැයි කියන පුද්ගලයකු වයස 19 න් පහළ පිලේ පුහුණුකරු ලෙස පත්කරන ලෙස බලපෑම් කරන බවද වාර්තා වේ. ඔහුත් සමඟ එම රටේ කටයුතු කළ සියලුම දෙනා තමන්ගේ සහාය කාර්ය මණ්ඩලයට ගෙන ඒමට ඔහු කටයුතු කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ.
ක‍්‍රිකට් ආයතනය කණ්ඩායමේ නිලධාරියකුගේ පදයට නටනවාද යන තීරණයද ඉදිරියේදී ගතයුතුව තිබේ. මෙම නිලධාරියා කියන කියන දේ කිරීමට ක‍්‍රිකට් ආයතනය සැදී පැහැදී තවදුරටත් ඉන්නවාද යන්න ප‍්‍රශ්නයකි.
♦ සටහන: වරකාගොඩ ගමගේ