2018 මැයි 05 වන සෙනසුරාදා

නව ක්‍රීඩා ඇමැතිට වචනයක්....

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

නව ක‍්‍රීඩා අමාත්‍යවරයාට වගකීම් රැසක් පැවරී තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යය විය යුත්තේ තවත් ක‍්‍රීඩා අමාත්‍යවරයකුට වැඩ නිර්මාණය කිරීම නොවන බව අවධාරණ කළ යුතුය.

ලසිත් මාලිංගට ගිරවා කිව්වත් රිලවා කිව්වත් ක‍්‍රිකට් ලෝලීන්ට වේදනාවක් දැනේ. සුසන්තිකාට දොස් නැඟුවහොත් සමස්ත ජනතාව ඊට නැගී සිටිති. නමුත් දේශපාලනඥයකුට මාලිංග හෝ සුසන්තිකා කුමක් කීවද ජනතාවට වගේ වගක් නැත.

යහපාලන රජයේ තෙවැනි කැබිනට් මණ්ඩල සංශෝධනය ක‍්‍රීඩාවට වඩාත් වැදගත් විය. එයට ප‍්‍රධාන හේතුව බවට පත්වූයේ ශ්‍රී ලංකා ක‍්‍රීඩාව මාසයකට ආසන්න කාලයක් ක‍්‍රීඩා අමාත්‍යවරයකු නොමැතිව මෙන් පාලනය වීමය. වර්තමාන රජයේ ප‍්‍රබල සාමාජිකයකු වන ෆයිසර් මුස්තාපා මහතා පසුගිය අඟහරැවාදා මෙම රාජයේ තෙවැනි ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ස්ථිර පත්වීම් ලැබීය. පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය, සීමා නිර්ණය වැනි කටයුතු වලදී ෆයිසර් මුස්තාපා මහතා කරළියේ පෙරමුණේ පසුවිය. මුස්තාපා මහතා එම කටයුතුවලදී සාර්ථක වූයේ දැයි ඒවායේ ප‍්‍රතිඵල අනුව සළකා බැලිය යුතුය.

මුස්තාපා මහතාට ක‍්‍රීඩා විෂය නව විෂයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ගෑස්, පරිප්පු, පෙට‍්‍රල් සහ ඩිසල් මිල වැඩි වනවිට ජනතාවගේ සාක්කුවට දැනනවා මෙන්ම ක‍්‍රීඩාවේ වෙනස්කම් කරන විට ජනතාවගේ හදවතට තදින් දැනෙන බව නව අමාත්‍යවරයා මතකයේ තබා ගතයුතුය.

තවද නව ක‍්‍රීඩා අමාත්‍යවරයාට පාලනයට පැමිණි විගස විසඳිය යුතු ශ්‍රී ලංකා ක‍්‍රීඩාවේ ප‍්‍රධාන ගැටලු දෙකක් තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා එය මඟ හැරියහොත් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව තවත් වසර ගණනාවක් පසු පසට තල්ලු වනවාට සැක නැත. ජාතික ඔලිම්පික් කමිටුවට නිලධාරීන් පත්වීමේදී හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නිර්දේශ සහ නියෝග පසු පසට තල්ලු කරමින් ඇතැමුන් තනතුරුවලට පත්වූ අතර ඇතැම්හු ඡන්දය ප‍්‍රකාශ කළහ. ඒ හේතුවෙන් නව ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවේ පාලනය සම්බන්ධයෙන් පළමුවෙන්ම අවධානය යොමු කළයුතුව තිබේ.

මුස්තාපා මහතා වැඩ බලන ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක‍්‍රිකට් නිලවරණයට අත තැබීම සැසසිය යුතුය. එය ඉදිරියට ගෙන එමින් දූෂිතයන්ට නැවත ක‍්‍රිකට් පරිපාලනයට ඒමට වැට බැඳිය යුතුව තිබේ. 

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00