2018 මැයි 26 වන සෙනසුරාදා

ක්‍රිකට් මහා පුටු සටනට තෙවැනි විනිසුරු තීන්දුවක් එයිද?

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති නාමයෝජනා දෙස බැලීමේදී වර්තමාන සහ හිටපු නිලධාරීහු ආරක්‍ෂක පියවර රැසක් අනුගමනය කරමින් කඩුල්ලේ රැඳී සිටීමට උත්සහ කරමින් සිටිති. තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන පාලනය නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ඉදිරි පාදයේ ආරක්‍ෂක පියවර රැසක් අනුගමනය කර තිබෙන බව පෙනේ. හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස සහ හිටපු ලේකම්වරයකු- වන නිශාන්ත රණතුංග යන මහත්වරු මෙම නිලවරණයේදී පසුපාදයේ ආරක්‍ෂක පියවර අනුගමනය කර ඇතැයි පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ශම්මි සිල්වා සහ තරගාවලි කමිටු සභාපති බන්දුල දිසානායක යන මහත්වරු ප‍්‍රධාන තනතුරු තුනකට බැගින් නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් ‘තිලංග’ පාර්ශවය කිසියම් අවිනිශ්චිත තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානමින් සිටින බව ප‍්‍රදර්ශනය වේ. ‘තිලංග’ පාර්ශවයේ ප‍්‍රබලයන් වන මොහාන් ද සිල්වා, ශම්මි සිල්වා සහ බන්දුල දිසානායක යන මහත්වරුන් තනතුරු තුනකට බැගින් නාමයෝජනා ඉදිරිපත් කිරීම යම් ප‍්‍රශ්නකාරී අවස්ථාවක එකිනෙකට සම්බන්ධ වූ දම්වැළක පුරුක් බවට පත්ව තිබේ.

හිටපු සභාපතිවරයකු ද වන මොහාන් ද සිල්වා මහතා සභාපති, උප සභාපති සහ ලේකම් යන ප‍්‍රධාන තනතුරු තුනටම නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. සභාපති ධූරයට ජයන්ත ධර්මදාස, තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ක‍්‍රීඩා නීතියට අනුව තිලංග සුමතිපාල මහතාට සභාපති ධූරය සඳහා තරග කළ නොහැකි යැයි විරෝධතාවක් ඉදිපත්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර එහිදී ඒ මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේප වුවහොත් එයට ආරක්‍ෂක පියවරක් ලෙස මොහාන් ද සිල්වා මහතා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. සුමතිපාල මහතාගේ නාමයෝජනාව යම්හෙයකින් ප‍්‍රතික්ෂේප වුවහොත් මොහාන් ද සිල්වා මහතාට සභාපති ධූරයට තරග කිරීමේ අවස්ථාව හිමිවේ. එසේ නොවුණහොත් නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගෙන් කෙනෙකුට අවස්ථාව හිමිවෙයි.
ක‍්‍රීඩා නීතියට අනුව ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරකට පත්වීමට නම් එම ක‍්‍රීඩාවේ ජාතික මට්ටමට සමානව ක‍්‍රීඩා කළ යුතුව තිබේ. ජයන්ත ධර්මදාස මහතා එවැනි මට්ටමක ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නොමැති අතර ඒ අනුව ධර්මදාස මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩිය. මොහාන් ද සිල්වා මහතා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් නොකර සුමතිපාල මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප වූයේ නම් නිශාන්ත රණතුංග මහතාට නිතරගයෙන් සභාපති ධූරය හිමිවීමට ඉඩ තිබුණි.

‘තිලංග’ පාර්ශවයේ ප‍්‍රබල සාමාජිකයකු වන වර්තමාන භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ධූර තුන සඳහා නාමයෝජනා බාරදී තිබේ. තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනාව සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇති වී මොහාන් ද සිල්වා මහතා සභාපති ධූරයට පත්වුහොත් ඔහුට උප සභාපති ධූරයට පත්විය නොහැක.

එසේ වුවහොත් ‘තිලංග’ පාර්ශවයේ උප සභාපති ධූර අවස්ථාවක් ආවරණය කිරීමට ශම්මි සිල්වා මහතා ඉදිරිපත්ව සිටියි. ඒ අනුව කේ. මතිවානන් සහ ශම්මි සිල්වා යන මහත්වරු ‘තිලංග’ පාර්ශවයෙන් උප සභාපති ධූර දෙකට තරග කරති. ශම්මි සිල්වා මහතා නාමයෝජනා ඉදිරිපත් නොකළේ නම් එම අවස්ථාව ‘නිශාන්ත’ පාර්ශවයේ ප‍්‍රබලයකු වන හිටපු උප ලේකම්වරයකු වන හිරන්ත පෙරේරා මහතාට හිමිවේ.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන වර්තමාන තරගාවලි කමිටු සභාපති බන්දුල දිසානායක මහතා මෙවර ලේකම්, උප ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරුවලට නාමයෝජනා ඉදිරිපත්කර තිබීම මෙහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ. බන්දුල මහතා වසර 20 කට ආසන්න කාලයක් ක‍්‍රිකට් පරිපාලනයේ සිටිය ද ප‍්‍රධාන තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වන අතර එය ද ‘තිලංග’ පාර්ශවයේ තවත් ආරක්‍ෂක පියවරකි. ශම්මි සිල්වා මහතා කිසියම් හේතුවක් මත උප සභාපතිවරයකු ලෙස පත්වුවහොත් බන්දුල දිසානායක මහතාට ලේකම් ධූරයට තරග කිරීමේ අවස්ථාව හිමිවේ. මෙවැනි උපායමාර්ග බොහෝ ක‍්‍රීඩා සංගම්වල නිලවරණවලදී දැකිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී ‘තිලංග’ පාර්ශවයෙන් ද අතපසුවීම් සිදුවී තිබේ. 

ක‍්‍රීඩා නීතියේ නව රෙගුලාසිවලට අනුව ශම්මි සිල්වා මහතා භාණ්ඩාගාරික ධූරයට ඉදිරිපත්කර ඇති නාමයෝජනාව ප‍්‍රතික්ෂේප වුවහොත් හෝ ඔහු උප සභාපති ධූරයට පත්ව, බන්දුල දිසානායක මහතා ලේකම් ධූරයට පත්වුහොත් භාණ්ඩාගාරික ධූරය ස්වාධීනව නාමයෝජනා ඉදිරිපත් කර ඇති ඊස්මන් නාරංගොඩ මහතාට නිතරගයෙන් හිමිවේ. නාරංගොඩ මහතා පසුගිය නිලවරණයේදී ‘නිශාන්ත’ පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරයට තරග කර පරාජයට පත්විය.  නිශාන්ත රණතුංග මහතා සභාපති ධූරයට මෙන්ම ලේකම් ධූරයට ද නාමයෝජනා බාරදී ඇති අතර ‘තිලංග’ පාර්ශවයට ඉහත සඳහන් කළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් ප‍්‍රයෝජනය ගැනීම නිශාන්ත මහතාගේ සැළසුම වනවාට සැක නැත.

ක‍්‍රිකට් නිලවරණ රැසකදීම උප භාණ්ඩාගාරික ධූරයට නාමයෝනා ඉදිරිපත් කරන නිහාල් ලෙව්කේ මහතා මෙවර ද නිමයෝජනා ඉදිරිපත්කර තිබූ අතර ඒ මහතා යෝජනා කළ ක‍්‍රීඩා සමාජ ලෙස කොළඹ කෝල්ට්ස් සහ සේවියරයිට්ස් යන ක‍්‍රීඩා සමාජ නම්කර තිබුණි. නිශාන්ත රණතුංග මහතාගේ නාමයෝජනාවට ද කොළඹ කෝල්ට්ස් සහ සේවියරයිට්ස් යන ක‍්‍රීඩා සමාජ අත්සන් කර තිබුණි. නාමයෝජනා දෙස බැලීමේදී ‘නිශාන්ත’ පාර්ශවයෙන් නිශාන්ත රණතුංග, හිරන්ත පෙරේරා, ඊස්මන් නාරංගොඩ සහ නිහාල් ලෙව්කේ යන මහත්වරු ඉදිරිපත්ව සිටින බව කිව හැකිය. ජයන්ත ධර්මදාස මහතා පමණක් එම පාර්ශවයෙන් ඉදිරිපත්ව සිටියි. 

මෙවර නිලවරණයේදී පාර්ශවයන්ගේ සැළසුම් දෙස බැලීමේදී ක‍්‍රිකට් නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට හැකිවේ යැයි විශ්වාසයක් තැබිය නොහැක. නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට පසුගිය අඟහරුවාදා පස්වරු 3.00 දක්වා කාලය ලබාදී තිබුණි. එහිදී තිලංග සුමතිපාල මහතාට එරෙහිව නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් විරෝධතා ඉදිරිපත්කර තිබුණි. එහිදී ධර්මදාස මහතා ඉදිරිපත් කර තිබූ විරෝධතා ගොනුව පිටු 1500 කින් පමණ සමන්විත දැවැන්ත එකක් බව වාර්තා වේ.

‘තිලංග’ පාර්ශවය ද විරෝධතා තුනක් ඉදිරිපත්කර තිබුණි. එවා ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග යන මහත්වරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය 19 වැනිදා විශේෂ මහ සභාවක් පවත්වා නිලවරණ කමිටුවක් පත්කරගත් අතර එම කමිටුව හරහා මේ වනවිට නිලවරණයේ කටයුතු ක‍්‍රියාත්මක වන බව වාර්තා වේ. එම විශේෂ මහ සභාවට නිශාන්ත රණතුංග මහතා ද සහභාගි වී සිටියේය. තිලංග සුමතිපාල මහතාගේ පරිපාලනය යටතේ මූල්‍ය දියුණුවක් ලැබූ බව ඔවුහු පවසති. එම සාර්ථකත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් ඊට පෙර පාලනය යටතේ ලැබිය යුතු මුදල් බව ඊට විරුද්ධ පාර්ශ්වයේ මතයයි. මූල්‍ය තත්ත්වයට වඩා වැදගත් වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයයි. එහි විවාදයක් නොමැත. 

මූල්‍ය සාර්ථකත්වය කෙසේ වුවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ශ්‍රේණිගත කිරීමේ ඇෆ්ගනිස්තානයටද පහළ වැටීම පිළිබඳව ක‍්‍රිකට් ලෝලීන් තුළ කණස්සල්ලක් තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට විස්සයි20 ශ්‍රේණිගත කිරිමේ 9 වැනි ස්ථානයේ පසු වන අතර ඇෆ්ගනිස්තානය 8 වැනිදා ස්ථානයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 7 වැනි ස්ථානයේ පසුවෙයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලවරණයේදී ඡන්ද 142 ක් තිබීම පිළිබඳව ද පසුගිය කාලය මුළුල්ලේම විරෝධයක් එල්ල විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව කුමාර් සංගක්කාර මහතා පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ අතර තවත් හිටපු ක‍්‍රීඩකයන් රැසක් ඉදිරියේදී ක‍්‍රිකට් ව්‍යවස්ථාවට එරෙහිව කරුණු දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. පසුගිය නිලවරණයේදී සුමතිපාල මහතා සමඟ එකට කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා වෙනම කටයුතු කිරීම ද මෙවර සුමතිපාල මහතාට අවාසියක් බවට පත්වීමට ඉඩ තිබේ.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන කාරණයක් වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් කිසිවකු සුමතිපාල මහතාගේ කඳවුරට සහාය දක්වන බවක් නොපෙනීමය. තිලංග සුමතිපාල පාර්ශ්වය විසින් විවිධ වරදාන ලබාදෙමින් ක්‍රීඩා සමාජවල ඡන්ද හරවා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවට සමහරු චෝදනා කරති. ලොවේ බලසම්පන්නම ක්‍රිකට් රටක් වශයෙන් සැලකෙන ඉන්දියාවේද තීරක ඡන්ද හිමි සංඛ්‍යාව 20කටත් අඩු ප්‍රමාණයක් වෙද්දී ලොවේ ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පල්ලමට බැස සිටින ශ්‍රී ලංකාවේ සභාපති තේරීමේ තීරක ඡන්ද 142ක් තිබීම හාස්‍යජනක කරුණක් වී තිබේ. මෙය තනිකරම ඡන්ද ලබාගෙන මුල්පුටු අල්ලා ගැනීමේ මෙහෙයුමක කොටසක් බව සමහරු දැඩිව චෝදනා කරති. 
ක්‍රිකට් ආයතනයේ බලය අල්ලාගෙන හිතවතුන්ට සැලකීමේ ක්‍රමවේදය තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ සෙතක් නොමැති බවත් මේ ක්‍රමය සදාකාලිකව ඉදිරියට ගෙනයාම තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව භයානක පිරිහීමකට ලක්වීමට ඉඩ තිබෙන බවටත් ක්‍රිකට් ප්‍රවීණයෝ කීපදෙනෙක්ම අනතුරු අඟවති. පසුගිය වසර දෙක තුන තුළදී රටේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීම ඛේදවාචකයකි. එම කඩාවැටීමට වගකිවයුතු පුද්ගලයෝම යළිත් බලය ගැනීමට කටයුතු කිරීම ඊටත් වඩා අවාසනාවකි.

කුමන උප්පරවැට්ටියක් හෝ යොදවාගෙන ක්‍රිකට් ආයතනයේ මුල්පුටු අල්ලා ගැනීම තමන්ට කරගන්නා සේවයක් මිස රටේ ක්‍රිකට් ක්‍රීඩාවට නම් කරන සේවයක් නොවන බව එහි බලධාරීන් වටහා ගැනීම අවශ්‍යය.

♦ යොහාන් භාසුර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00