2018 ජුනි 23 වන සෙනසුරාදා

අප්සෙට් තරග ගණනක් රොනාල්ඩෝ ඉදිරියට මෙසී පස්සට

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

ඉකුත් 14 වැනිදා ආරම්භ වූ පාපන්දු ලෝක කුසලානයේ හයවැනි දිනය අවසන් වනවිට වැඩි ගෞරව අත්පත් කරගැනීමට සත්කාරක රුසියානු කණ්ඩායම සමත්විය. ආරම්භක තරගයේදීම සෞදි අරාබියානු කණ්ඩායමට එරෙහිව ගෝල 5-0ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත් රුසියානු කණ්ඩායම දෙවැනි තරගයේදී ඊජිප්තු කණ්ඩායමට එරෙහිව 3-1ක ජයක් ලැබීය. ඒ අනුව තමන් සහභාගී වූ පළමු තරග දෙකේදී ගෝල 8ක් වාර්තා කරමින් එවැනි දශක අටකට පසු සත්කාරක රටේ කණ්ඩායම පළමු තරග දෙකේදී ගෝල 8ක් වාර්තා කළ පළමු කණ්ඩායම බවට පත්වීමට රුසියාව සමත් විය. මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ඉතාලි කණ්ඩායමය. ඒ 1934 වසරේදීය.

තරගාවලියේ පළමු දින අවසානයේදී වඩාත් කතාබහට ලක්වූ අනෙක් කණ්ඩායම් වූයේ ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානවල සිටින අයිස්ලන්තය, ඕස්ට්‍රේලියාව හා ජපාන කණ්ඩායම්ය. ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් විරුදාවලිය ලත් ආජන්ටිනාවේ ලයනල් මෙසී දැඩි අභියෝගයක් එල්ල කරමින් අයිස්ලන්ත කණ්ඩායම ආර්ජන්ටිනාව සමඟ පැවැති තරගය 1-1 ක් ලෙස සම කරගැනීමට සමත්විය. එම තරගයේදී ලයනල් මෙසීට දඬුවම් පහරක් එල්ල කිරීමට අවස්ථාව සැලැසුණු නමුත් එය සාර්ථක කරගැනීමට තරම් ඔහු වාසනාවන්ත නොවීය. ආධුනික කණ්ඩායම් සමගින් පාපන්දු ලෝක කුසලානයට එක්වූ අයිස්ලන්ත කණ්ඩායම මේ වනවිට පෙරළිකාර හා මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් කණ්ඩායමක් බවට පත්ව තිබේ. 

එම තරගයෙන් පසු ලොව සුප‍්‍රකට පාපන්දු ක්‍රීඩකයකු වන දියාගෝ මැරඩෝනා මෙසී සහ ආර්ජන්ටිනා කණ්ඩායමේ කී‍්‍රඩකයන් වෙනුවෙන් පෙනි සිටියේය. ‘‘අයිස්ලන්තය පරාජයට පත් කිරීමට නොහැකි වීම මෙසීගේ හෝ ක්‍රීඩකයන්ගේ වරදක් නෙවෙයි. මෙසීට දඬුවම් පහර සාර්ථක කරගන්න බැරි වුණා. තරගය සම වීමට එය ප‍්‍රධානතම හේතුව නෙමෙයි. එහෙත් අඩුපාඩු තිබෙනවා. අපේ ක්‍රීඩකයෝ හොඳින් සෙල්ලම් කළා. එහෙත් අපි තවත් දේවල් කළ යුතුයි. තවත් පුහුණුවීම් කළ යුතුයි. මට දඬුවම් පහර පහක් මගහැරී තිබෙනවා. එහෙත් මම තවමත් දියාගෝ මැරඩෝනා’’ යනුවෙන් රූපවාහිනි සංවාදයකට අදහස් දක්වමින් මැරඩෝනා කීය. බාර්සිලෝනා කණ්ඩායමේ සුප‍්‍රකට ක්‍රීඩකයා වන මෙසී බාර්සිලෝනා සහ ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ලබාගත් දඬුවම් පහර හතෙන් සාර්ථක කරගෙන ඇත්තේ හතරක් පමණි.

මෙසීගේ තත්ත්වය එසේ වනවිට ඔහුගේ ප‍්‍රතිවාදියා වන පෘතුගාල සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් සහභාගී වූ පළමු තරග ද්විත්වය අවසන් වෙද්දී තම නම ඉදිරියේ ගෝල හතරක් සටන් කරගැනීමට සමත්විය. ස්පාඤ්ඤය සමඟ පැවැති තරගයේදී විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ රොනාල්ඩෝ මොරොක්කෝව සමඟ පැවැති තරගයේදී ගෝලයක් වාර්තා කළේය. 

මෙවර තරගාවලියේ වඩාත් පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ ලෝක ශූර ජර්මානු කණ්ඩායම පරාජයට පත්කළ මෙක්සිකෝ කණ්ඩායමයි. ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයේ රැඳී සිටින ජර්මානු කණ්ඩායම මෙක්සිකෝව හා පැවැති තරගයේදී 0-1 ලෙස පරාජයට පත්විය. ජර්මානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක ඔවුන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත්වූයේ 1982 වසරෙන් පසුය. එහෙත් මෙක්සිකෝ කණ්ඩායම තමන් අවසන් වරට සහභාගී ලෝක කුසලාන තරගාවලි හයකදී ඔවුන් සහභාගී වූ පළමු තරගවලින් තරග පහක ජය තම සතු කර ගැනීමට සමත්ව තිබේ.

ජර්මානු කණ්ඩායමේ එම පරාජයත් සමඟ බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව සහ ජර්මනිය එකම ලෝක කුසලාන තරගාවලියකදී පළමු තරගය ජයගැනීමට අසමත් වූ පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්විය. ආර්ජන්ටිනා කණ්ඩායම අයිස්ලන්ත කණ්ඩායම සමඟ 1-1ක් ලෙස සමවෙද්දි ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ප‍්‍රබල බ‍්‍රසීල කණ්ඩායම හා ස්විට්සර්ලන්තය පැවැති තරගය 1-1ක් ලෙස සමවිය. 

ජර්මනිය ලැබූ මෙම පරාජයත් සමඟ අවසන් වරට පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි ත්‍රිත්වයේදීම ලෝක ශූර කණ්ඩායමක් වුවත් තම පළමු තරගය ජයගැනීමට අසමත් වී තිබේ. වසර 2006 ලෝකු ශූරයන් වූ ඉතාලි කණ්ඩායම  2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පැරගුවේ කණ්ඩායම සමඟ තම පළමු තරගයට සහභාගී වූ අතර එය 1-1ක් ලෙස සමවිය. වසර 2010 ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤ කණ්ඩායම 2014 වසරේදී තමන් මුහුණ දුන් පළමු තරගයේදී 1-5 දරුණු පරාජයකට හිමිකම් කීය. එම තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 5ක් වාර්තා කරමින් අති විශිෂ්ට ජයක් ලැබීය. ඉන් අනතුරුව 2014 වසරේදී බ‍්‍රසීලයේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී  බ‍්‍රසීලයට එරෙහිව ගෝල 1-7 ක අතිවිශිෂ්ට ජයක් ලැබූ ජර්මානු කණ්ඩායම මෙවර මෙක්සිකෝව හමුවේ පරාජය විය. 

අනෙක් පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ ජපාන කණ්ඩායමයි. පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ලතින් අමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත්කළ පළමු ආසියානු කණ්ඩායම ලෙස ජපානය මෙවර ලෝක කුසලානයේදී ඉතිහාසයට එක්විය. කොලොම්බියා කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ගෝල 2-1ක් ලෙස ජය ලබමින් ජපාන කණ්ඩායම එලෙස ඉතිහාසයට එක්විය.

තරගාවලියේ 6 වැනි දිනය වූ ජූනි 20 වැනිදා වනවිට පළමු වටයේ තරග 20ක් අවසන් වී තිබිණි. 

♦ හර්ෂණ තුෂාර සිල්වා 
   සේයාරූ I රොයිටර්