2018 ජුනි 30 වන සෙනසුරාදා

කොදෙව් සංචාරය යන්තම් ෂේප්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

ශ්‍රී ලංකා පිල කරදර රැසක් කර පින්නාගෙන මෙන්ම ප‍්‍රබලයන් රැසක් අහිමිව බාබඩෝස්හි පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 4 කින් පරාජය කිරීම සැබෑම ජයග‍්‍රහණයකි. මෙම ඉතිහාසගත දිවා රාත‍්‍රී ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණයේ අතුරු ප‍්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත සෝබර්ස් - තිසේරා කුසලානය ‍ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 1x1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය.

තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සඳුදා ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 93 කට සීමා කිරීමත් තරගය උඩුයටිකුරුවීම ආරම්භ විය. එහිදී පළමු ඉනිමේදී මෙන්ම වේගපන්දු යවන්නන් වන නායක සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ කසුන් රාජිත කොදෙව් කඩුලු 9 ක් බෙදා ගත්හ. පළමු ඉනිමේදී මෙන්ම පිට දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරාට කඩුල්ලක් පමණක් හිමිවිය. 

එම ඉනිම දෙකේදී ළහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 6 බැගින් ද, සුරංග ලක්මාල් කඩුලු 5 ක් ද, දවාගැනීමෙන් ශ්‍රී ලංකාවට වේගපන්දු යවන්නන්ගේ හිඟයක් නොමැති බව ප‍්‍රදර්ශනය විය. තරගයේ සිවුවැනි දිනය වනවිට බාබඩෝස් තණතීරුව වේගපන්දු යවන්නගේ පාරාදීසයක් බවට පත්ව තිබුණි. ශ්‍රී ලංකා පිලට සිවුවැනි දිනයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 63 ක් රැස්කිරීමට ඉතිරිව තිබූ අතර ඒ සඳහා කඩුලු 5 ක් තිබිණි.

කුසල් පෙරේරා උඩ පන්දුවක් රැකගැනීමට ගත් උත්සාහයකදී දැන්වීම් පුවරුව වැදී ආබාධයකට ලක්ව රෝහල්ගත කිරීම ශ්‍රී ලංකාවට වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්විය. කුසල් අංක 8 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් කණ්ඩායම ජයග‍්‍රහණය දක්වා රැගෙන යාමට සමත් විය.

හතරේ සීමාවෙන් මෙපිට ස්ථාපිතකර තිබූ දැන්වීම් පුවරුවක් උඩට කුසල් ඇද වැටුණු අතර එහිදී කුසල්ගේ පපු ප‍්‍රදේශය දැන්වීම් පුවරුවේ වැදුණු අතර හිස පොළවේ වැදුණි. එම අවස්ථාවේදී කුසල් දැඩි වේදනාවකට පත්වූ අකාරය දැකගත හැකි විය. ගිලන් රථයකින් කුසල් රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී ප‍්‍රතිකාර ලබාදී එදින රාත‍්‍රියේම නැවත හෝටලයට රැගෙන එනු ලැබීය. කුසල් පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා හත්වැනි කඩුල්ලට ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටියහ. එහිදී ඩිල්රුවන්ගෙන් තුන් ඉරියව් ක‍්‍රීඩකයාගේ වගකීම මනාව ඉටුවිය.

බටහිර ඉන්දීය කොදෙව්හිදී පසුගිය බදාදා අවසන් වූ ටෙස්ට් ක‍්‍රිකට් තරග සංචාරය ශ්‍රී ලංකා පිලට එතරම් සුබදායක එකක් නොවීය. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ අපලම තරග සංචාරවලින් එකකි. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් නිසා සංචාරයෙන් ඉවත් විය. නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවේ ස්භාවය වෙනස්කිරීමේ චෝදනාව නිසා අවසන් ටෙස්ට් තරගය තහනම් විය. 
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයකට ලක් වීමෙන් දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගවලින් ඉවත්ව සිටීමට සිදුවිය. වේගපන්දු යවන ක‍්‍රීඩක ළහිරු ගමගේ ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ විනය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පිටමන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරිත්වය පියවර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන්ට මෙන්ම නායක දිනේෂ් චන්දිමාල්ට තරග ප‍්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනාව ඔවුහු පිළිගත්හ.  

නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ ස්භාවය වෙනස් කිරීමේ වරදට තරගයක් තහනම් වීම හේතුවෙන් මෙම තරගයේදී උප නායක සුරංග ලක්මාල් නායකයා ලෙස කටයුතු කළේය. චන්දිමාල් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළද තරගය ආරම්භ වීමට පෙර දින අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව එය ඉවත දැමීමට තීරණය කළේය. 

ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයකට ලක්ව සිටින බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. රංගන හේරත්ගේ ආබාධය බරපතළ ද එසේ නැත්නම් සාමාන්‍ය ද යන්න මේ දක්වා ප‍්‍රකාශ කර නොමැත. 

මෙම සංචාරය නිමකර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පිලට විවේකයකින් තොරව දකුණු අප‍්‍රිකානු සංචාරයට සූදානම් වීමට සිදුව තිබේ. එම සංචාරය ශ්‍රී ලංකාවේ පැවතිය ද දකුණු අප‍්‍රිකාව ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසකින් සන්නද්ධව පැමිණීම විශාල අභියෝගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ලබන මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

♦ යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00