මෙම ලිපිය ලියැවෙන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භවීමට නියමිතව තිබියදීය. රුසියාවේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටය අන් කවරාදාකටත් වඩා උණුසුම් විය. සෑම තරගයක්ම ආරම්භක මිනිත්තුවේ සිටම උණුසුම් වූ මෙවර 16 දෙනාගේ වටයේදී ප‍්‍රබල කණ්ඩායම් කිහිපයකටම තම රටවල් බලා යෑමට සිදු වූ අතර වඩාත් පෙරළිකාරම කණ්ඩායම බවට පත්වීමට සත්කාරක රුසියානු කණ්ඩායම සමත්විය. දහසය දෙනාගේ වටයේ තරග තුනකම ජයග‍්‍රහකයන් තීරණය කරන ලද්දේ දඬුවම් පහර මගිනි.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටය ආරම්භ වූයේ ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම සහ ප‍්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම අතර තරගයෙනි. දෙවැනි තරගය ආර්ජන්ටිනා කණ්ඩායමේ ලයනල් මෙසීගේ ප‍්‍රතිවාදියා වන පෘතුගාල කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතර පැවැත්විණි. මෙම කණ්ඩායම් හතර පාපන්දු පිටියේ දැවැන්තයන් වුවත් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායම සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම ‘තනි ක්‍රීඩක’ කණ්ඩායම් යැයි පාපන්දු විචාරකයෝ පෙන්වා දුන්හ. ආර්ජන්ටිනා කණ්ඩායමේ සියලු බර ලයනල් මෙසී මත පැටවෙද්දී පෘතුගාල කණ්ඩායමේ බර දරන්නා වූයේ රොනාල්ඩෝය. අවසානයේදී එම කණ්ඩායම් දෙකටම එකම දිනකදී තම රට බලා යෑමට සිදුවිය. ප‍්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර තරගය 4ට 3ක් ලෙස අවසන් වෙද්දි පෘතුගාලය සහ උරුගුවේ අතර තරගය 2ට 1ක් ලෙස අවසන් විය.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූ රුසියානු කණ්ඩායම සහ ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවැති තරගය මෙවර ලෝක කුසලානයේ වඩාත් වැඩි අවධානයක් යොමු වූ තරග අතරින් එකක් බවට පත්විය. රුසියාව මෙවර පාපන්දු ලෝක කුසලානයට එක්වූයේ තරගාවලියේ සිටින දුර්වලම කණ්ඩායමක් ලෙසය. එහෙත් ආරම්භයේ පටන්ම තම ප්‍රේක්ෂක ලෝලීන්ගේ සහ සත්කාරකත්වයේ වාසිය හිමි කරගත් රුසියාව ආරම්භක තරගයේදී සෞදි අරාබියට එරෙහිව ගෝල 5ක් වාර්තා කරමින් තම පෙරළිය ආරම්භ කළේය. රුසියානු කණ්ඩායමේ දහසය දෙනාගේ වටයේ තරගය එතරම් සුබදායක නොවීය. රුසියානු කණ්ඩායමේ වයස්ගතම ක‍්‍රීඩකයකු වන සර්ගේ ඉග්නාසේවිච්ගේ කකුලේ වැදුණු පන්දුව ඔවුන්ගේ දැල තුළටම යෑමත් සමග තරගයේ 11 වැනි මිනිත්තුවේදීම ඉදිරියට යෑමට ප‍්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමත්විය. එහෙත් තරගයේ 40 මිනිත්තුවේදී ස්පාඤ්ඤ කණ්ඩායමේ පීකේගේ අතේ පන්දුව අතේ වැදුණු අතර එය ඔහු හිතාමතාම කරන ලද්දක් යැයි විනිසුරු මෙවර පාපන්දු ලෝක කුසලානයේදී භාවිත වන නව තාක්ෂණික ක‍්‍රමවේදවල සහාය ඇතිව තීරණය කළේය. ඒ අනුව රුසියාව වෙනුවෙන් ආටෙම් ඩ්සූබා ඔවුන්ට හිමි දඬුවම් පහර සාර්ථක කරගත්තේය. ඉන් අනතුරුව තරගය දැල රකින්නන්ගේ තරගයක් විය. තරගයේ අතිරේක කාලයේදී ගෝල වාර්තා නොවූ බැවින් දඬුවම් පහරවලට පිවිසුණු අතර එහිදි වීරයා බවට පත්වූයේ රුසියානු කණ්ඩායමේ ගෝල රකින්නාය. දඬුවම් පහර අවස්ථාවේදී රුසියානු කණ්ඩායමේ ගෝල රකින්නා වූ ඉගර් අකින්ෆීව් ප‍්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුගේ ප‍්‍රහාර ව්‍යර්ථ කරමින් රුසියානු කණ්ඩායමට ජය ගෙනාවේය.
දහසය දෙනාගේ වටයේ සිව්වැනි තරගය අවසන් වූයේ ද දඬුවම් පහර මගිනි. තරගයේ පළමු මිනින්තුව ගෙවෙන්නටත් පෙර ගෝලයක් වාර්තා කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්වුවත් එම වාසිය විනාඩි පහක්වත් තබාගැනීමට ඔවුහු සමත් නොවූහ. මෙවර තරගාවලියේ අඩුම කාලයක් තුළ ගෝල වාර්තා වූ තරගය මෙය වූ අතර තරගයේ පළමු මිනිත්තු පහට පෙර කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් රැස් කළේය. ඉන් අනතුරුව අතිරේක කාලයේදීත් ගෝල රැස්කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර නැවතත් මෙම තරගය ද ගෝල රකින්නන්ගේ තරගයක් බවට පත්විය. එහෙත් මෙවර වැඩි වාසි අත්පත් කරගැනීමට ක්‍රොඒෂියා දැල් රකින්නා සමත්විය. ඩෙන්මාර්ක් දැල් රකින්නාට තම දැල ආරක්ෂා කරගැනීමට හැකි වූයේ දෙවතාවක් පමණි. ක්‍රොඒෂියා ගෝල රකින්නා ඩෙන්මාර්කයේ අවස්ථා ත්‍රිත්වයකදී තම දැල ආරක්ෂා ගත්තේය.
තරගාවලියේ මීළඟ තරගය ලතින් ඇමෙරිකානු රටවල් දෙකක් වන බ‍්‍රසීලය සහ මෙක්සිකෝව අතර පැවැත්විණි. එම තරගය දහසය දෙනාගේ වටයේ පළමු තරග හතරට වඩා වෙනස් ස්වරූපයක් ගත් අතර තරගයේ පළමු අර්ධයේදී ගෝල වාර්තා නොවීය. එසේ වුවත් තරගයේ උණුසුම ආරම්භයේ පටන්ම පැවැතිණි. තරගයේ 51 වැනි මිනිත්තුවේදී නේමාර් ගෝලයක් වාර්තා කළ අතර 88 වැනි මිනිත්තුවේදී රොබොටෝ ෆර්මිනෝ වාර්තා කළ ගෝලයත් සමඟ මෙක්සිකෝ කණ්ඩායමට නැගී සිටීමක් නොවීය.
ඉන් අනතුරුව එදිනම පැවැති අනෙක් තරගය තවත් උණුසුම් විය. එම තරගයේදී ද පළමු අර්ධයේදී ගෝල වාර්තා කිරීමට ප‍්‍රබල බෙල්ජියානු කණ්ඩායම මෙන්ම 16 දෙනාගේ වටයේ සිටි එකම ආසියානු රට වූ ජපාන කණ්ඩායම ද අසමත් විය. එහෙත් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී සහ 52 වැනි මිනිත්තුවේදී ගෝල වාර්තා කරමින් ප‍්‍රබල බෙල්ජියම පසුපසුට ඇද දැමීමට ජපාන ක්‍රීඩකයෝ සමත්වූහ. එහෙත් ඉන් අනතුරුව තම කීර්තිය වෙනුවෙන් සටන් වැදුණු බෙල්ජියම 69 මිනින්තුවේදී 74 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කරමින් 2-2 ක් ලෙස සමවිය. ඉන් අනතුරුව තරගයේ පළමු අතිරේක කාලය මිනින්තු හතරක් ලෙස විනිසුරුවන් තීරණය කළ අතර එම අතිරේක කාලයේ අවසන් මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් බෙල්ජියම ජපානයේ සියලු සිහින බොඳ කළහ. වේදනාකාරී පරාජයකට හිමිකම් කීවත් ඉන්පසු දිනයේදී ලොවපුරා පාපන්දු ලෝලීන් ඇතුළු ලෝකවාසීන්ගේ හදවත් දිනාගැනීමට ජපාන පාපන්දු ක්‍රීඩකයෝ මෙන්ම රුසියාවට පැමිණ සිටි ජපාන පාපන්දු ලෝලීහු සමත්වූහ. ජපාන ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා විවේකාගාරයෙන් නික්ම ගොස් තිබුණේ එම ක‍්‍රීඩාගාරය සම්පූර්ණයෙන් සුද්ධ පවිත‍්‍ර කර රුසියානු බසින් ස්තූතියි යනුවෙන් සටහනක් ද තබමිනි. එම තරගය අවසානයේදී තරගය නැරඹීට පැමිණි ජපාන පාපන්දු ලෝලීන්ගේ පිටියෙන් නික්ම යෑමට පෙර තමන් සිටි ප්‍රේක්ෂකාගාර පිරිසුදු කරන අයුරු ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්ව තිබූ අතර ජපනුන්ගේ මෙම ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ ගෞරවයටත් ඇගයීමටත් පාත‍්‍ර විය.
දහසය දෙනාගේ වටයේ අවසන් තරග ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය අතරත් කොලොම්බියාව සහ එංගලන්තය අතරත් පැවැත්විණි. පසුගිය තරගාවලි කිහිපයකදී මෙන්ම මෙවර සමස්ත ලෝක කුසලාන තරගාවලියේ 32 වටය එසේත් නැතිනම් අවසාන මහ තරගාවලියේ ‘කණ්ඩායම් ගෙදර යැවීමේ’ කණ්ඩායම වූ ස්වීඩන කණ්ඩායම තමන්ට වඩා ස්ථාන හයක් ඉදිරියෙන්, ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවන ස්විට්සර්ලන්තය ගෙදර යැවීය.
දහසය දෙනාගේ වටයේ අවසන් තරගය අවසන් වූයේ දඬුවම් පහර අවස්ථා මගින් ජයග‍්‍රහකයන් තීරණය කරමිනි. එය දහසය දෙනාගේ වටයේ තෙවැනි දඬුවම් පහර අවස්ථාව විය. මෙම තරගයේදී ද පළමු අර්ධයේදී ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර තරගයේ 57 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ඉදිරියට යෑමට එංගලන්තය සමත්විය. තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනවිට ඉදිරියෙන් පසු වූ එංගලන්ත කණ්ඩායමට පළමු අතිරේක කාලයේදී අවාසනාව උදා විය. තරගයේ පළමු අතිරේක කාලය මිනිත්තු තුනක් වූ අතර එම මිනිත්තු තුන අවසාන වන්නට ඔන්න මෙන්න තිබියදී කොලොම්බියා කණ්ඩායමේ යෙරී මීනා ගෝලයක් වාර්තා කළේ තරගය දෙවැනි අතිරේක කාලයට ඇද දමමිනි. එම අතිරේක කාලයේදී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත් නොවීය. දඬුවම් පහර 4ක් සාර්ථක කරගත් එංගලන්තය දඬුවම් පහර 4ට 3ක් ලෙස ජයගනිමින් අර්ධ අවසන් පූර්වයට පිවිසියේ එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවිමිනි.
මෙම තරගයේදී දඬුවම් පහරද ඇතුළු ගෝල දෙකක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් සමස්ත තරගාවලියේදී ගෝල 6ක් වාර්තා කරමින් ගෝල වාර්තා කළ ක‍්‍රීඩකයන් අතර ඉදිරියෙන් පසුවෙයි. ගෝල 4ක් වාර්තා කර සිටින බෙල්ජියානු කණ්ඩායමේ රොමේලූ ලූකාකු දෙවැනි ස්ථානයේත් පසුවෙයි. එහි තෙවැනි තැන පෘතුගාල ක්‍රීඩක රොනාල්ඩෝට හිමිවුණත් ඔහු දැන් ගෙදර ගොසින්ය.
මෙවර තරගාවලියේ තරග 64න් 56ක් මේ වනවිට අවසන් වී තිබෙන අතර තරගාවලියේ මෙතෙක් වාර්තා වී තිබෙන සමස්ත ගෝල සංඛ්‍යාව 146කි. තරගාවලියේ 100 වැනි ගෝලය වාර්තා කළේ ලයනල් මෙසීය. මීට පෙර අවසාන වතාවට පැවැති ලෝක කුසලාන දෙකේදී 100 වැනි ගෝල වාර්තා කළේ බ‍්‍රසීලයේ නෙමාර් සහ ස්පාඤ්ඤ කණ්ඩායමේ ඇන්ඩි‍්‍රයෙස් ඉනියෙස්ටාය.
මෙවර තරගාවලියේදී කහ කාඩ්පත් 189ක් ද රතු කාඩ්පත් 4ක් ද ද නිකුත් කර තිබේ. තරගාවලියේ තරග අතරවාරයේදී ක්රීඩකයන් අතර සම්පූර්ණයෙන් පාපන්දු හුවමාරු වූ අවස්ථා 43,139ක් වාර්තා වන අතර එයින් වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ස්පාඤ්ඤ කණ්ඩායමයි.
තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ කණ්ඩායම බවට පත්වීමට ගෝල 12ක් වාර්තා කළ බෙල්ජියම සමත් වී තිබේ. හොඳම ප‍්‍රහාරක කණ්ඩායම සහ පන්දුව ක්‍රීඩකයන් අතර හුවමාරු කරන හොඳම කණ්ඩායම බවට පත්වීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ. ඔවුන්ගේ ප‍්‍රහාර ගණන 288ක් වනවිට තරග අතරවාරයේදී ක්රීඩකයන් අතර පා පන්දුව හුවමාරු වීම් අවස්ථා 3120කි. තරගාවලියේ හොඳම ආරක්ෂකයා එසේත් නැතිනම් හොඳම ආරක්ෂක වළල්ලක් සහිත කණ්ඩායමට බවට පත්වීමට රුසියානු කණ්ඩායම සමත්වී තිබේ. පන්දුව තමන්ගේ කලාපයෙන් නිදහස් කිරීම, ගෝල අවස්ථා අවහිර කිරීම, ප‍්‍රතිවාදීන් අවහිර කිරීම් 196කට දායක වීමට රුසියාව සමත්වී තිබේ.
මෙවර තරගාවලියේ ගෝල වාර්තා කිරීමට වැඩිම අවස්ථා ගණනකදී උත්සාහ දරා ඇත්තේ බ‍්‍රසීලයේ නෙමාර්ය. එම අවස්ථා ගණන 24කි. තරගාවලියේ වැඩිම දුරක් ආවරණය කළ ක්‍රීඩකයා බවට පත්වීමට කිලෝමීටර 51ක් ආවරණය කළ ඩෙන්මාර්ක කණ්ඩායමේ ක්‍රිස්ටියන් එරික්සන් සමත්වී තිබේ. තරගාවලියේ වැඩිම පන්දු හුවමාරු කිරීම් සංඛ්‍යාවට දායකත්වය දී ඇත්තේ ස්පාඤ්ඤ කණ්ඩායමේ නායක සර්ජියෝ රැමෝස්ය. ඔහු සාර්ථක අවසන් කළ පන්දු හුවමාරු කිරීම් සංඛ්‍යාව 485කි. ඒ අතරවාරයේදී තම අන්තය ආරක්ෂා කරමින් වැඩිම ගෝල අවස්ථා ගණනක් අවුරමින් වැඩිම ආරක්ෂා කිරීම් ගණනකට දායකත්වය දක්වා ඇත්තේ මෙක්සිකෝ කණ්ඩායමේ ගියර්මෝ ඔචාවාය. එම ගණන 25කි. තරගාවලියේ මෙතෙක් පැවැති තරගවල දත්ත එසේය.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ජූලි 6 වැනිදා ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබිණි. ඉන් අනතුරුව බ‍්‍රසීලය හා බෙල්ජියමත්, ස්වීඩනය සහ එංගලන්තයත්, රුසියාව සහ ක්‍රොඒෂියාවත් අවසන් පූර්ව වටයේ තැනක් වෙන් කිරීම සඳහා තරග වැදීමට නියමිතව තිබිණි.
♦ හර්ෂණ තුෂාර සිල්වා
සේයාරූ: රොයිටර්