2018 ජුලි 28 වන සෙනසුරාදා

ක්‍රීඩා ඇමැති සිංහ කටේ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ඩන්කන් වයිට්’ ශ‍්‍රවණාගාරයේදී පැවැති පළමු මාධ්‍ය හමුවේදී පැන පැන පිළිතුරු දෙමින් පැවසුවේ වැරදි කරන නිලධාරීන්ට තමන්ගෙන් සමාවක් නොමැති බවයි. එම මාධ්‍ය හමුවේ අසුන්ගෙන සිටි ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව මාධ්‍යවේදීන් විසින් චෝදනා රැසක් ඉදිරිපත් කරන ලදී. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ තමන් හැකි ඉක්මනින් එම චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී කළ ප‍්‍රකාශය සාම්ප‍්‍රදායික දේශපාලකයකුගේ ප‍්‍රකාශ බවට මේ වනවිට පත්ව හමාරය.

එම මාධ්‍ය හමුවේදී සහකාර අධ්‍යක්‍ෂවරයාට ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන දැල්පන්දු ක‍්‍රීඩාවට සම්බන්ධ නිලධාරිනියක් සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණ වාර්තාවක් යටගැසීම සහ රාජ්‍ය නිලධාරියකුව සිටියදී පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ත්‍යාග ලබා ගැනීම ආදී චෝදනා රැසක් එල්ල විය. ක‍්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ජාතික ක‍්‍රීඩා කෞතුකාගාරයේ උසස් තනතුරක් දරන නිලධාරියකුටද ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදීම චෝදනා එල්ල විය. අදාළ නිලධාරියා ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී ඔහුගේ මිතුරන්ට සම්මාන බෙදා දුන් බවටත් හතුරන් කපා දැමූ බවත් එහිදී චෝදනා එල්ල විය.

ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ස්ථාපිත කර තිබෙන ක‍්‍රීඩා සංචිතවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමූ පෝෂණ දීමනාව කපා හැරීමට සම්බන්ධයෙන්ද අදාළ කෞතුකාගාර ලොක්කාට චෝදනා එල්ල වී තිබේ. අදාළ නිලධාරියා 2015 සහ 2016 වසරවලදී ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල සංවිධානය කළ ද යොමුවූ චෝදනා හේතුවෙන්ම 2017 වසරේ සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි විය.

කෙසේ වෙතත් මෙම වසර අවසානයේ නැවතත් සම්මාන උළෙල පැවැත්වීමට සූදානම් වන අතර එහිදී ප‍්‍රධාන සංවිධාකයා ලෙස චෝදනා එල්ල වී සිටින නිලධාරියා පත්කර තිබීම හාස්‍ය සහ කණගාටුව දනවන්නකි. අදාළ නිලධාරියා මෙවර සම්මාන උළෙල සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යංශ තුළින්ම විරෝධයක් නිර්මාණ වෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.

උපදේශකයන් සහ වෙනත් තනතුරු ඔස්සේ ක‍්‍රීඩා අමාත්‍යංශයට රිංගාගෙන සිටින ‘සිංහයන්’ තිදෙනකු ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව විනාශ කරමින් සිටින බවට වසර කීපයක සිට චෝදනා එල්ල වුවද ක‍්‍රීඩා අමාත්‍යවරු වගේ වගක් නොමැතිව කටයුතු කළහ. මෙහිදී වඩාත් බරපතළ තත්ත්වය බවට පත්ව ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යංශය ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියාත්මක කරන පරීක්‍ෂණවල ප‍්‍රධානීන් ලෙස බොහෝ විට මෙම ‘සිංහයන්’ කටයුතු කිරීමය. එවැනි බොහෝ අවස්ථාවලදී විනිවිදභාවයෙන් තොරව හිතවත්කම් මත කටයුතු කරන බවට ද චෝදනා එල්ල වේ.  

එම ‘සිංහයන්’ අතරින් දෙදෙනෙක් වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා යටතේ ද කපටියාගේ චරිතය රඟ දක්වමින් සිටිති. අමාත්‍යවරයා මේ පිළිබඳව අවබෝධ කරගෙන ඔවුන් සේවයෙන් ඉවත්කිරීමට කටයුතු නොකළහොත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව තවදුරටත් වළපල්ලට වැටීම වැළැක්විය නොහැක. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි