ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලොක්කෙකුගේ සමීපතමයකු වන ක‍්‍රිකට් තරග විචාරය මුවාවෙන් මුදල් ගිලදමන ‘ක‍්‍රිකට් සක්විති’ ලෙස හඳුන්වන පුද්ගලයකු පිළිබඳව මේ වනවිට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහක් නිර්මාණය වී තිබේ. මෙම පුද්ගලයා විස්තර විචාරය සඳහා සහභාගිවන පුද්ගලයන්ට නිලවශයෙන් කරන ගෙවීම් ලබානොදී හොර පාරේ ලබාගන්නා බවත් විස්තර විචාරය සඳහා සහභාගි නොවූ ඇතැම් නමගිය විස්තර විචාරකයන්ගේ නම්වලට විශාල මුදල් ඇතුළත්කර එම මුදල් ලබාගන්නා බවටත් චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල්වලින් ක‍්‍රියාත්මක වන තරග විස්තර විචාරක වැඩසටහනක කටයුතු කරන්නේ යැයි කියන මෙම පුද්ගලයා රුපියල් මිලියන ගණනින් එම වැඩසටහන සඳහා මුදල් වියදම් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පසුගිය වසරේ පාකිස්තානු සංචාරයේ තරග විස්තර විචාරය සඳහා පමණක් මෙම පුද්ගලයා ක‍්‍රියාත්මක කරන විස්තර විචාරක වැඩසටහනට රුපියල් කෝටියකට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති මෙම තරගාවලිය සඳහා විස්තර ප‍්‍රචාර සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 72 කට (7,285,116) අධික මුදලක් ගෙවා තිබේ. මෙම සම්පූර්ණ සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 100 ක මුදල් වැය කර අමතරව ලක්‍ෂ 3 ක මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙහිදී පෞද්ගලික මාධ්‍ය සේවා සපයන ආයතනයකට රුපියල් ලක්‍ෂ 52 කට (5,212,260) අධික මුදල් ගෙවා තිබීම විශේෂයෙන් කැපී පෙනේ.
මෙහිදී පුද්ගලයන් කිහිපදෙනකුට එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට යෑමට ගුවන් ප‍්‍රවේශපත් ඇතුළු වියදම් රැසකට ලක්‍ෂ 30 කට අධික මුදලක් වැය කිරීම සැබවින්ම මුදල් නාස්තියක් බව කිවයුතුය. මෙහිදී අදාළ ‘ක‍්‍රිකට් සක්විති’ විස්තර විචාරයට සහභාගි නොවී නිල වශයෙන් 50,000 බැගින් ලක්‍ෂයක මුදලක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් මෙවැනි දැවැන්ත මුදලක් වියදම් කිරීමට පෙර මෙම විස්තර විචාරයේ අවශ්‍යතාව සහ ප‍්‍රයෝජනය පිළිබඳව අවධානය යොමු කළේද යන්න සැකසහිතය. එසේ නැත්නම් තම සමීපතමයාට වංගුවක් ගැසීමට අවස්ථාව ලබාදුන්නේ ද යන්න ප‍්‍රශ්නයකි. රජයේ ආයතනයක සේවය කරමින් සිටියදී දූෂිත චෝදනාවකට ඉවත් කළ බව කියන අදාළ ‘ක‍්‍රිකට් සක්විති’ කාලයක සිට විස්තර විචාරය කිරීමේ අවස්ථාව ලබාදෙන්නේ යැයි පවසමින් හිටපු ක‍්‍රීඩකයන් රැසක් රවට්ටා ඇති බවද තතු දන්නෝ පවසති.
♦ විශේෂ ලියුම්කරුවකු විසිනි