ශ්රී ලංකා පිල ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් දඹුල්ලේදී පැවැති එක්දින තරග දෙකම පරාජයට පත්විය. එම පරාජයත් සමඟ නැවතත් එක්දින කණ්ඩායම පිළිබඳව කථාබහක් නිර්මාණ වී තිබේ.
බදාදා පැවැති දෙවැනි තරගයේදී ශ්රී ලංකා පිලේ පන්දු රැකීම හොඳ තත්ත්වයක තිබුණේ නම් එම තරගයේ ප‍්‍රතිඵලය ශ‍්‍රී ලංකා පිලට වාසිවීමට ඉඩ තිබුණි. දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙපළ වූ හෂීම් අම්ලා සහ කුවින්ටන් ඩී කොක් ඉනිම ආරම්භයේදී අතටම ලබාදුන් උඩ පන්දු කුසල් පෙරේරා සහ අකිල ධනංජය වෙතින් ගිලිහී යෑම ප‍්‍රතිපූර්ණය කළ නොහැකි පාඩුවක් බවට පත්විය.
එංගලන්තයේදී 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට මුහුණදීම සඳහා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කළ යුතු බවට මේ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකාරිත්වය තුළ මතයක් නිර්මාණ වී තිබේ. ශ්‍රී ලංකාව මීට පෙර ලෝක කුසලාන තරගාවලි සඳහා වසර කීපයකට සැලසුම් සකස් කළද ලෝක කුසලාන තරගාවලියේදී අත්හදාබැලීම් කළ අවස්ථා ඉතිහාසය පුරාම දැකිය හැකිය. ඒ හේතුවෙන් මෙවර සැලසුම් එවැනි පුස්සක් නොකිරීමට වගබලා ගතයුතුව තිබේ.
නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ රැඳී සිටීම සහ තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාගේ දායකත්වය ගැන කරුණු දෙක පිළිබඳව මෙවර දැඩි අවධානය යොමු වී තිබේ. මැතිව්ස් පසුගිය කාලයේ වරින්වර ආබාධයන්ට ගොදුරුවීම නිසා තරගාවලි රැසක් අහිමිවූ අතර මැතිව්ස් ඉදිරියේදී ද ආබාධයන්ට ලක්වුවහොත් නායකත්වයේ වගකීම බාර දෙන්නේ කාටද යන ගැටලුව මතුවී තිබේ. තිසර පෙරේරාගෙන් පිතිකරු තුන්ඉරියව් ක‍්‍රීඩකයකුගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය මහන්සිවී වැඩ කරන බව පිතිකරු පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසා තිබුණි.
ක‍්‍රිකට් යනු කීපදෙනකුගේ සාර්ථකත්වය මත රඳාපවතින ක‍්‍රීඩාවක් නොවන බව මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලකයන් මතයේ තබාගත යුතුය. ඒ නිසා ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීපදෙනකු නිර්මාණය කිරීම වෙනුවට දක්‍ෂ සහ අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් එකොළහකින් සමන්විත ප‍්‍රබල කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය. එම කාර්යය සඳහා ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් එක්දින තරග 19ක් පමණි. දකුණු අප‍්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන තරගාවලියේ ඉතිරි එක්දින තරග තුනද එයට ඇතුළත් වේ. දඹුල්ලේදී පැවැති තරග දෙකට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් එකොළොස් දෙනාගෙන් ක‍්‍රීඩකයන් කීපදෙනකු පමණක් ස්ථාන ස්ථිර කරගෙන සිටියද බොහෝ දෙනකු අවිනිශ්චිතය.
තේරීම් කමිටුව පළමුවෙන්ම කළයුතු කාර්ය බවට පත්ව ඇත්තේ සමබර කණ්ඩායම් තරගවලට යෙදවීමය. එසේ නොවුණහොත් සාර්ථක ප‍්‍රතිඵල අවමවීම වැළැක්විය නොහැක. මෙහිදී තේරීම් කමිටුව කළ යුත්තේ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරු කර කුසල් පෙරේරා අංක හතරට ගෙන ඒම වැනි අනවශ්‍ය අත්හදා බැලීම් කිරීම නොවේ. කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ස්ථානයේ නිදහසේ පහරදීමේ අවස්ථාව ලබාදීමය. දික්වැල්ල දෙවැනි තරගයේදී ලකුණු 69ක් රැස්කිරීමෙන් තේරීම් කමිටුවට සැනසෙනවාට සැක නැත. එය තාවකාලික සතුටක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.
එම තරගයේදී කුසල් පෙරේරා ලකුණු 81 ක් රැස්කිරීමෙන් එම තීරණය නිවැරදි යැයි සිතා කටයුතු කළහොත් එය එතරම් ගුණදායක නොවනු ඇත. කුසල්ගෙන් එක්දින සහ විස්සයි20 තරගවලදී උපරිම ප‍්‍රයෝජන ගැනීමට නම් ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. එම තරගයේදී ශ්රී ලංකා පිලේ පළමු කඩුලු පහ ලකුණු 36 ක් තුළ බිඳ වැටීමෙන් පසුව අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහරදීමට පිතිකරුවකු නොමැති වීමේ අඩුව වඩාත් කැපී පෙනුණි.
හෂාන් තිලකරත්න 90 දශකයේ එක්දින කණ්ඩායමට ලබාදුන් සේවය ලබාදීමට පිතිකරුවකු සූදානම් කිරීමේ අවශ්‍යතාව එහිදී ප‍්‍රදර්ශනය විය. අවස්ථානුකූලව ප‍්‍රයෝජනය ගැනීමට රොෂේන් සිල්වා වැනි පිතිකරුවකු එක්දින පිලට ගෙන ආ යුතුය. නිරෝෂන් දික්වැල්ල මීට පෙර පසුපෙළ පන්දුවට පහර දුන්නද ඔහුගේ පන්දුවට පහරදීමේ රටාව අනුව එම ස්ථානය නොගැලපේ.
ශ්‍රී ලංකා පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන උපුල් තරංග ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩා කරවීමෙන් ජාතික කණ්ඩායම සාර්ථක කළ නොහැක. තරංග වැනි ක‍්‍රීඩකයන්ට හැකි සෑම අවස්ථාවකදීම විවේකය දී ජාතික කණ්ඩායමට උපරිම සේවය ලබාගත යුතුය. තහනමට ලක්වූ ධනුෂ්ක ගුණතිලක ද මෙම තරගාවලියෙන් පසුව නැවතත් කණ්ඩායමට පැමිණෙයි. එහිදී ආරම්භක පිතිකරුවන් කීපදෙනකු සිටීමෙන් ගැටලුවක් මතුවීමට ඉඩ තිබේ.
ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හිතේ තබාගෙන සිටින ක‍්‍රීඩකයන් 20 දෙනකුට පමණක් අවස්ථාව ලබාදෙමින් සිටින බවට චෝදනාවක් එල්ල වේ. එය එසේ වුවද ලෝක කුසලාන තරගාවලිය කර මුලටම පැමිණ ඇති දැන් වෙනස් කළ හැකි විකල්පයක් නොමැති තරම්ය. එම ක‍්‍රීඩකයන්ට හෝ සාර්ථක වීම සඳහා අඛණ්ඩව තරග ලබාදීම කළ යුතුව තිබේ.
♦ යොහාන් භාසුර