2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ටෙස්ට් නායකයා නැගී එන පිලට වැටුණෙ කොහොමද?

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පල්ලෙකැලේදී පසුගිය ඉරිදා පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තරග දෙකක් ඉතිරිව තිබියදී එක්දින තරගාවලිය පරාජයට පත්විය. ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය හමුවේ ඉතිරි තරග දෙකම ජය ලැබුවද තරගාවලිය බේරා ගැනීමට අවස්ථාවක් නොමැත. ශ්‍රී ලංකාව මේ වනවිට දකුණු අප‍්‍රිකාව හමුවේ පිටපිටම එක්දින තරග 11ක් පරාජයට පත්ව සිටීම කැපී පෙනේ. 

පල්ලෙකැලේදී පැවැති තෙවැනි තරගයේ තණතීරුව වේගපන්දු යවන්නන්ට වාසිදායක ලෙස සකස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ දැඩි ප‍්‍රහාරයකට ලක්වූහ. 

දිවා තරගයක් වූ මෙහිදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50දී ලකුණු 363 ක් රැස් කිරීමෙන් ආරම්භයේදී ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහුණි. 

ශ්‍රී ලංකාවේ හැකියාව පිළිබඳ අවබෝධයකින් තොරව තණතීරු සකස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරිත්වය වගකිව යුතුය. ශ්‍රී ලංකා එක්දින පිලේ පසුගිය කාලය පුරාම කඩුලු අතර සිටින දඟපන්දු යන්නා අකිල ධනංජය බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකා ඒ පිළිබඳව අවධානය යොමුකළේ කර වාසියක් ලබාගැනීමේ අදහස් තිබුණේ නම් අකිල ඇතුළු දඟපන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණතීරැව සකස් කළ යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදුවූයේ නැත. දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ අකිල ධනංජයගේ  ඕවර 10 ට පමණක් ලකුණු 81 ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව ලබාදුන් වාසියෙන් නිසි ප‍්‍රයෝජනය ලබාගත් දකුණු අප‍්‍රිකානු වේගපන්දු යවන්නෝ පළමු ඕවර 10 තුළදීම කඩුලු තුනක් දවාගනිමින් වාසිය අත්කරගත්හ. දඹුල්ලේදී පැවැති දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ වේගපන්දු යවන කසුන් රාජිත තෙවැනි තරගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. රාජිතට ස්ථානය අහිමිකිරීමට හේතුව ඔහු අසාර්ථක වීම නොවන බව පැහැදිලිය. රාජිතගේ පන්දුවලට දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙපළ ලබාදුන් පහසු උඩපන්දු රැකගත්තේ නම් ඔහු තරගයේ වීරයා වීමටද ඉඩ තිබුණි. ළහිරු කුමාර ආබාධයකට ලක්වීම නිසා දෙවැනි තරගයේදී රාජිත ස්ථානය ලැබුණු අතර ළහිරු නැවත පැමිණි සැණින් ඔහුට අවස්ථාව ලබාදීමට එතරම් හදිසි නොවිය යුතුව තිබුණි.

නිරෝෂන් දික්වැල්ල තවදුරටත් ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන්නේ නම් ප‍්‍රතිඵලත් වර්තමානයට වඩා වෙනස් වේදැයි සැක සහිතය. ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් සහ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙපළ ඇතුළු ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් දස දෙනෙක් දකුණු අප‍්‍රිකානු නැගී එන පිලට එරෙහිව පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ එක්දින තරගාවලියට සහභාගි වූහ. 

එම තරග ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය බාරගැනීමට සිටින වනිඳු හසරංග, විශ්ව චතුරංග වැනි ක‍්‍රීඩකයන් කීපදෙනකුට ලබාදුන්නේ නම් මීට වඩා ප‍්‍රයෝජනයක් ඇති බව බොහෝ දෙනකුගේ මතයයි. දිමුත් කරුණාරත්න එක්දින තරග සඳහාද යොදා ගැනීමට තේරීම් කමිටුව අදහස් කර ඇති නිසා ඔහුවද නැඟී එන කණ්ඩායමට ඇතුළත්කර ඇති බව වාර්තා වේ. ආබාධයකට ලක්ව සහ ඩෙංගු උණ වැළදීමෙන් රෝගී වී සිටි අසේල ගුණරත්න අවසන් මොහොතේ ශ්‍රී ලංකා නැඟී එන පිලට ඇතුළත් කළේය. අසේලට තරග අවස්ථාවක් ලබාදීමට එවැනි තරගයකට ක‍්‍රීඩා කරවීමේ වරදක් නොමැත.

ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කරන ආකාරය පිළිබඳව නම් හොඳක් අසන්නට නැත. සූරියවැවදී පැවැති වයස 19න් පහළ සිවුදින තරගය නැරඹීමට තේරීම් කමිටු සාමාජිකයකු පැමිණ සිටියද ඔහු ප‍්‍රමාද වී ක‍්‍රීඩාංගණයට පැමිණෙන අතර තරගය අවසන් වීමට පෙර පිටත්ව යයි. ශ්‍රී ලංකා සහ දකුණු අප‍්‍රිකා නැඟී එන කණ්ඩායම් අතර සූරියවැවදී පැවැති සිව්දින තරගයේදීද දින දෙකක් පමණ තේරීම් කමිටු සාමාජිකයකු දැකගත හැකි වූ අතර ඔහු තරගයට වඩා දුරකථනයට අවධානය යොමු කරන බව දැකගත හැකි විය. 

තේරීම් නිලධාරීන් සූරියවැව වැනි කොළඹින් පැහැර ක‍්‍රීඩාංගණවල පැවැත්වෙන තරග නැරඹීමට යොමු කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රවාහන, හෝටල් සහ දීමනාවක් ලබාදෙමින් විශාල මුදලක් වැය කරයි. එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ගේ කාර්ය හරිහැටි සිදුනොවන්නේ නම් තවදුරටත් තබා ගැනීම පළ රහිතය. කණ්ඩායමේ ප‍්‍රධාන නිලධාරියකු සහ හිටපු උප නිලධාරියකු කණ්ඩායම් තේරීමේ නිරතව සිටින බව ද කථාවක් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පැතිර යයි. මෙවැනි තේරීම් කමිටුවක් සිටියදී එවැනි දෙයක් ද විය හැකිය.   

♦ යොහාන් භාසුර