2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ආසියානු ක්‍රීඩා උළෙල සිහිනයක් පමණක් වෙයි?

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

“ආසියානු ක‍්‍රීඩා උළෙලේදී වෙච්ච දේවල් නැවත වෙන්න මම දෙන්නේ නෑ. මම එන්.ඕ.සී. එකට ගිහින් කෑගැහුවා කියලත් කියලා තිබුණා. මම ගියේ ළමයෙක් වෙනුවෙන්. ඒ ළමයට ක‍්‍රීඩා උළෙලට යන්න ඇඳුම දෙන්නෙ නැත්තන් මම මැදිහත් වෙන්න එපැයි” යැයි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේ පැවසීය. 

ඉන්දුනීසියාවේදී දැන් පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පුද්ගලයන් 250 කට අධික ‘මෙගා’ කණ්ඩායම පිළිබඳව ආරම්භයේ සිට විවේචන එල්ල වුවද පාලකයෝ බීරි අලින් මෙන් ඒ සඳහා අවසරය සහ අනුග‍්‍රහය දුන්හ. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා යම්කිසි අවබෝධයක් මේ වනවිට ලබාගෙන ඇති බවක් දැනෙන්නට තිබේ. ජාතික ඔලිම්පික් කමිටුව සහ ජාතික ක‍්‍රීඩා සංගම් පාලනය වන ක‍්‍රීඩා නීතියේ සැබෑ වෙනසක් කිරීමට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් නව දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා පසුගිය සතියේ පියවර ගත්තේය. 

ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී ටෙනිස් ක‍්‍රීඩිකා අනිකා සෙනෙවිරත්න ටෙනිස් කණ්ඩායමට ඇතුළත් කිරීමේ සිද්ධිය අධිකරණය දක්වා ගියේය. එයට ඔලිම්පික් කමිටුව ටෙනිස් තේරීම් කමිටුවට දොස් පැවරුවද එහිදී සැබෑ ලෙස සිදුවූයේ කුමක් ද යන්න ප‍්‍රසිද්ධ රහසකි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනීසියාවට පැමිණි පසුද විවිධ සිද්ධීන් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයකට ක‍්‍රීඩා උළෙලේ නිල ඇඳුම්, බෑග් සහ සපත්තු ලබාදීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව දැනගන්නට තිබුණි. 

නිල ඇඳුම් නොලැබීමෙන් ක‍්‍රීඩා කණ්ඩායම් කීපයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වීමේ අනගි අවස්ථාව මඟ හැරුණු බවට චෝදනා එල්ල වේ. කාන්තා කබඩි කණ්ඩායමේ නායිකාව ආබාධයකට ලක්ව සිටියදී මෙම තරගාවලියට සහභාගි වී ඇති බවට චෝදනාවක්ද ඉන්දුනිසියාවෙන් දැනගන්නට තිබේ. ඇයගේ ආබාධය සඟවමින් තරගාවලියට සහභාගි වී ඇති බව වාර්තා වේ.  

මෙම සටහන තබන මොහොත වනවිට ක‍්‍රීඩා උළෙලේ දින පහක් අවසන්ව තිබුණද ශ්‍රී ලංකාව පිළිබඳව කථාකළ හැක්කේ අසාර්ථකත්වය පමණි. ජාතික ඔලිම්පික් කමිටුව වරින්වර මාධ්‍ය නිවේදනය නිකුත්කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට වැඩිම සංඛ්‍යාවක් සහභාගි වන ආසියානු ක‍්‍රීඩා උළෙල මෙය බවට මහ ඉහළින් පැවසීය. නමුත් මේ වනවිට එම ‘මෙගා’ කණ්ඩායම හුදෙක්ම මුදල් නාස්තියක් පමණක් බව තහවුරු වී හමාරය. 

වුෂු ක‍්‍රීඩක පැතුම් නුවන් බලවර්ධන සහ කබඩි කාන්තා කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකා ‘මෙගා’ කණ්ඩායමේ යම් තරමකට හෝ සාර්ථක වූයේ යැයි කිව හැකිය. පැතුම් නුවන් පසුගිය අඟහරැවාදා කිලෝග‍්‍රෑම් 60 බර පංතියේ වූෂු සාන්දා ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්විය. ඔහු ඊට පෙර තරගය ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය. පැතුම් එහිදී ලෝකයේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ යැයි කියන වියට්නාම් ක‍්‍රීඩක නහීම් වේනි හමුවේ වට 2x0 කින් පරාජයට පත්විය. පැතුම් තරගයට පෙරදින ආබාධයකට ලක්වීම නිසා පසු බැසීමට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම පළමු තරග දෙකේදී ඉන්දුනිසියාව සහ ජපානය පරාජය කරමින් යම් බලාපොරොත්තුවක් තබා තිබුණද පසුගිය අඟහරුවාදා ඉන්දියාව හමුවේ ලකුණු 38x12 කින් පරාජයට පත්විය. 
මෙවර ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග ඊයේ (25) ආරම්භ වීමට නියමිතව තිබුණි. මලල ක‍්‍රීඩා ඉසව් කීපයකින් හෝ අවම වශයෙන් අවසන් තරගයට හෝ පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාසයක් තැබීම පමණක් කළ හැකිය. 

I යොහාන් භාසුර