ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ පව්, ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ හිසමතින් ගිය ආකාරය පසුගිය සතියේ දැකගත හැකි විය. “බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා” යැයි කියමනක් ශ්‍රී ලංකා ජනවහරේ තිබේ. මෙම සිද්ධියටද අවශ්‍ය නම් එම කියමන ආදේශ කරගත හැකිය. දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂයෙන් එක්දින තරගාවලියේ සහ විස්සයි20 තරගයේ තරග නැරඹීමේ ප‍්‍රවේශපත් පිළිබඳව පසුගිය සතිය වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබුණි.
එම ප‍්‍රවේශපත් අවභාවිතය වී දැඩි දූෂණයක් සිදුවී ඇති බවට විපක්‍ෂයේ ඇතැම් දේශපලඥයෝ චෝදනා කරන්න වූහ. එහිදී ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මහතා දෙසටද ඇඟිල්ල දිගු විය. ක‍්‍රීඩා අමාත්‍යවරයාට පමණක් තරගයක ප‍්‍රවේශපත් 800ක් නිකුත්කර ඇති බවට චෝදනා එල්ල වූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකත් කරමින් පැවසුවේ එවැනි ප‍්‍රවේශපත් ප‍්‍රමාණයක් ලබාදී නොමැති බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයට නිල වශයෙන් ලැබිය යුතු ප‍්‍රවේශපත්වලට වඩා එකක්වත් වැඩියෙන් ලබා නොගත් බවයි.
ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව රණවිරුවන්ට සහ පාසල් දරුවන්ට සියලු පහසුකම් නොමිලයේ ලබාදෙමින් තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමේ ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහිදී විශේෂයෙන්ම පාසල් දරුවන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 30 ක පමණ මුදලක් වැයකර ඇති බවට ප‍්‍රධාන චෝදනාවක් එල්ල විය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වියදම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයකින් පැහැදිලි විය.
දකුණු අප‍්‍රිකානු සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් මිලියන ගණනක් වැය කරමින් සංවිධානය කිරීමට සූදානම් වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය ක‍්‍රීඩා අමාත්‍යවරයා අත්හිටවූ අතර අමාත්‍යවරයා එහිදී එයද සිහි කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වියදම් දෙස බැලීමේදී රණවිරැවන් සහ දරුවන්ට තරග නැරඹීමට වැය කළ මුදල අඩු මුදලක් බවයි.
“පාසල් සිසුන්ට තරග නැඹීමේ අවස්ථාව ලබාදීමට ලක්‍ෂ 30 නොවෙයි ලක්‍ෂ 50 ක් වියදම් වුනත් මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ක‍්‍රිකට් ආයතනයේ වියදම් දිහා බලන විට...” “මම එයට හොඳ උදාරණයක් දෙන්නම්. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී භෝජන සංග‍්‍රහයක් දෙන්න ලැස්ති කළා. නමුත් ඒ මේ ළමයින්ට තරග පෙන්වීමට අපි වියදම් කළේ ඊට වඩා අඩු මුදලක්.” “රණවිරුවන්ට, දරුවන්ට වැඩි වියදම් කළත් මම කියන්නේ ඒක හොඳ දෙයක්. ඒ නිසා මම වගකීමෙන් කියනවා මම ඒ වියදම් ගැන බයක් නෑ. මම කිව්වේ කරන්න කියලා.”
“දුෂ්කර පාසල්වල දරුවන්ට තරගයක් බලන්න දෙන එක වැරුද්දක්ද? අපේ ක‍්‍රිකට් අනාගතය හදන්න පුළුවන් ළමයි තරග බැලුවොත් විතරයි. රණවිරුවන් අපි වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ඔවුන්ව තරගයක් බලන්න ගෙනිච්ච එකේ වැරැද්දක් තියෙනවද?” අමාත්‍යවරයා ප‍්‍රශ්න කරයි. මෙහිදී අමාත්‍යරවයා නොදන්න දෙයක් තිබේ. එසේ නැත්නම් අමාත්‍යවරයා දැනුවත් වුවද නොදන්නවා සේ සිටිනවා විය හැකිය.
පාසල් දරුවන්ට ආසන 3000ක් පමණ වෙන් කළද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් දූෂිත නිලධාරීන් ඒ සඳහා වෙන් කළ ප‍්‍රවේශපත් අලෙවි කර තිබේ. එම ප‍්‍රවේශපත් මිලදීගත් පේ‍්‍රක්‍ෂකයන්ට ක‍්‍රීඩාංගණයට ඇතුල්වීමට අවස්ථාව නොදුන් විට ඔවුන් ක‍්‍රීඩාංගණයේ දොරටු බිඳගෙන ක‍්‍රීඩාංගණයට ඇතුල් වී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නොමිලේ ලබාදෙන ප‍්‍රවේශපත්වල මෙවර පළමුවරට මිල සටහන් කර තිබීමද තවත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබුණි. එහි මිල සටහන් කිරීම තුළ ඇතැමුන්ට එම ප‍්‍රවේශපත්ද අලෙවි කිරීමේ අවස්ථාව උදාවිය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ප‍්‍රවේශපත් දෙක බැගින් ලබාදුන් බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ක‍්‍රීඩා නීතියේ හෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රවේශපත් ලබාදිය යුතුයැයි නියාමයක් නොමැත. මීට පෙර සිදුවූයේ ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරන ඇමැතිවරුන්ට සහ මන්ත‍්‍රීවරුන්ට පමණක් සීමිත ප‍්‍රවේශපත් සංඛ්‍යාවක් ලබාදීමය.
ක‍්‍රීඩා අමාත්‍යවරයා විමසන්නේ මහජන නියෝජිතයන් වන මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රවේශපත් දෙක බැගින් ලබාදීමේ වරදක් තිබේද යන්නයි. නමුත් එම මන්ත‍්‍රීවරු රණවිරුවන්ට සහ දරුවන්ට තරග නැරඹීමට කළ වියදම් පිළිබඳව ප‍්‍රශ්න කරති. ක‍්‍රීඩා අමැතිවරයාගේ නව පියවර අනුව මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රවේශපත් 450ක් ලබාදී තිබේ.
ක‍්‍රීඩා ඇමැතිවරයාගේ නිසි බලධාරියාගේ පාලන තුළද ක‍්‍රිකට් ආයතනයේ හොල්මන් කළ පරණ හොරුම හොල්මන් කරන අතර එහි මඩ ගා ගැනීමට සිදුවන්නේ ක‍්‍රීඩා ඇමතිවරයාට බව අමතක නොකළ යුතුය.
I විශේෂ ලියුම්කරුවකු විසිනි