ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රධානතම විස්සයි20 තරගාවලිය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට පසුගිය සතියේ නැවතත් මුදලට තරග පවාදීමට සම්බන්ධ වූයේ යැයි චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ එවැනි සිද්ධියකට ක‍්‍රීඩකයන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
ඔට්ටුකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ජාතික කණ්ඩායම නියෝජනය කරන ප‍්‍රබල තරුණ ක‍්‍රීඩකයන් දෙපළගේ නම් කියවුණු අතර කෙසේ වෙතත් මේ දක්වා ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන නොමැත. එම දෙපළ අතරින් එක ක‍්‍රීඩකයකු අඛණ්ඩව විනය කඩකිරීමේ චෝදනා එල්ල වූවෙක් වන අතර අනෙක් ක‍්‍රීඩකයාගේ නමද විනය සම්බන්ධයෙන් කථාබහට ලක්ව තිබේ.
විනය චෝදනා ඇති ක‍්‍රීඩකයා මෙම තරගාවලියේදී සුපිරි දස්කම් අතර සිටීම නිසා සැකය ඉවතට දැමීමට සිදුව තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වහාම ක‍්‍රියාත්මක වෙමින් එහි දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පල්ලෙකැලේට යොමු කළ අතර එහිදී චෝදනාව සම්බන්ධයෙන් කණ්ඩායම් හතරේ ක‍්‍රීඩකයන් දැනුවත් කළේය. ක‍්‍රීඩකයන් එම දේශනවලදී දේශීය තරගාවලියක් වන මෙහිදී දැඩි නීති පැනවීම පිළිබඳව ප‍්‍රශ්න කර තිබේ.
මෙම තරගාවලියේ ඒ දක්වා ක‍්‍රීඩකයන් දුරකථන පාවිච්චි කර තිබූ අතර එය අත්හිටුවීමට ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටයුතු කර තිබේ. අන්තර්ජාතික තරගයකදී කටයුතු කරන ආකරයට මෙහිදී කටයුතු කළ යුතු බවට එහිදී උපදෙස් දුන් බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් තත්ත්වය බරපතළ විය හැකිය.
ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරුව සහ තවත් පුහුණුකරුවන් කීපදෙනකුට මෙම වසර මුලදී එල්ල වූ මුදලට තරග පාවාදීමට සූදානම් වූ චෝදනා පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පරීක්‍ෂණයක් කළද චෝදනාලාභීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැවැති තරග අතරතුරදී ඉන්දීය සහ පාකිස්තානු ජාතිකයන් වන ඔට්ටුකරුවන් යැයි කියන කීපදෙනෙක් ක‍්‍රීඩාංගණයෙන් ඉවත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරිහූ පියවර ගත්හ.
මෙම පිරිස නවීන තාක්‍ෂණය උපයෝගි කරගනිමින් ක‍්‍රීඩාංගණයේ සිදුවීම වෙනත් පාර්ශවයන්ට යොමු කරමින් සිටි බව දැනගන්නට තිබේ. මෙම තරග නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති අතර ඒ හේතුවෙන් මොවුන් නැවත නැවතත් ක‍්‍රීඩාංගණයට ඇතුල් වන බව ක‍්‍රීඩාංගණ නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. මෙම තරග චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක රූපවාහිනී නාලිකාව සහ අන්තර්ජාලයේ සජීව විකාශය වන අතර ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල්වල තරග සඳහා ඔට්ටු තැබීම සිදුවන බව වාර්තා වේ.
බොහෝ සජීවි විකාශයකදී ක‍්‍රීඩාංගණයේ සිදුවීම සහ විකාශය අතර තත්ත්පර කීපයක ප‍්‍රමාදයක් ඇති අතර එය ප‍්‍රයෝජනයට ගනිමින් ඇතැම්හු ක‍්‍රීඩාංගණයේ සිට ක්‍ෂණිකව සිදුවීම් අන්තර්ජාලය සහ දුරකථන ජාලය ඔස්සේ යොමු කරති. මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයන් රැසක් සහභාගිවීම නිසා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. ඔට්ටුකරුවන් දැඩි උනන්දුවකින් පසුවීමට හේතුව මෙය බව බොහෝ දෙනා පවසති.
♦ යොහාන් භාසුර
ඡායාරූප: ළහිරු හර්ෂණ