2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ආසියාවේ වාසිය ලංකාවට ලැබෙයිද?

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (17) ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැත්වීමට නියමිතය. ඇෆ්ගනිස්තානය පරණ ඇෆ්ගනිස්තාන් පිල නොවන බව මෙහිදී මතයේ තබාගත යුතුය. වර්තමාන ඇෆ්ගනිස්තාන් පිල පසුගිය වසර කීපයේදී ප‍්‍රබල කණ්ඩායම් පරාජය කළා පමණක් නොව ප‍්‍රබල කණ්ඩායම්වලට නිරන්තරයෙන් අභියෝගයක් බවට පත්විය. 

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනකු පසුගිය අයි.පී.එල්. තරගාවලියට සුදුසුකම් ලබන විට ඇෆ්ගනිස්තාන් ක‍්‍රීඩකයන් තිදෙනකු එම තරගාවලියට වැඩි ඉල්ලුමට මිලදීගත් බව අමතක නොකළ යුතුය. එම ක‍්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගි වී සිටිති. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මේ දක්වා පැවැති එක්දින තරග දෙකම ශ්‍රී ලංකාව ජය ලබා තිබීමෙන් හොඳ මානසික තත්ත්වයකින් තරගයට පිවිසීමේ අවස්ථාව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ඊයේ (15) බංග්ලාදේශ පිලට එරෙහිව තරග කිරීමට නියමිතව තිබුණි. දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර නිරෝෂන් දික්වැල්ලට එම ස්ථානය හිමිවිය. ශ්‍රී ලංකා පිල පසුගිය අඟහරුවාදා පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගියේය. නායක ඇන්ජලෝ මැතිව්ස් පිටත්ව යෑමට පෙර පැවසුවේ කිසිදු කණ්ඩායමක් සැහැල්ලුවට නොගන්නා බවත් සියලුම තරගවලදී උපරිමයෙන් ක‍්‍රීඩා කරන බවත්ය. 

ශ්‍රී ලංකා පිල පළමු තරගයට පෙර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන පුහුණු සැසි තුනකට සහභාගි වීමට නියමිතව තිබුණි. මෙවර තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං යන රටවල් ‘ඒ’ කාණ්ඩයේ තරග වදියි. පළමු වටයේ තරග අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අතර ලීග් තරගාවලියක් පැවැත්වෙන අතර එහිදී වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

ආසියානු කුසලාන තරගාවලිය ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට හිස එවීමේ අවස්ථාවක් බවට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ ආසියානු කුසලාන තරගාවලි 13 දී තරග 52 කට සහභාගි වී තරග 35 ක් ජය ලබා 68.62% සාර්ථකත්වයක් ලබා තිබේ. එය ඉන්දියාව සහ පාකිස්තානය ද අභිබවා යෑමකි. ඉන්දියාවේ ආසියානු කුසලාන සාර්ථකත්වය 65.95% ක් වන අතර පාකිස්තානයේ සාර්ථකත්වය 60.46% කි.

1984 වසරේ ආරම්භ වූ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් සුබදායි වෙමින් එහිදී අනු ශූරයන් බවට පත්විය. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් 2014 වසරේ අවසන් වරට ශූරයන් වීමත් සමඟ ශ්‍රී ලංකාව මේ වන විට පස්වරක් ශූරයන් බවට පත්ව තිබේ. 

ආසියානු ක‍්‍රිකට් සමුළුව 1983 වසරේ ආරම්භ කිරීමෙන් පසුව 1984 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා නුවරදී පළමු ආසියානු කුසලාන තරගාවලිය පැවැත්විණි. එක්දින ක‍්‍රිකට් තරග ලෙස එසේ නැතිනම් ඉනිමක්  ඕවර 50 යේ තරගයක් ලෙස මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වීමට ආසියානු ක‍්‍රිකට් සමුළුවේ බලාපොරොත්තු විය. තරගාවලිය වර්තමානයට ගැලපෙන ආකාරයට 2015 වසරේ සිට එක්දින සහ විස්සයි 20 තරගාවලියක් ලෙස මාරුවෙන් මාරුවට පැවැත්වීමට ආසියානු ක‍්‍රිකට් සමුළුව තීරණය කළේය. ඒ අනුව පසුගිය 2016 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැති අතර නැවත 2020 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වේ.

දේශපාලනය ඇතුළු විවිධ හේතූන් මත මෙම තරගාවලිය ඇතැම් වර්ෂවල පැවැත්වීමට නොහැකි වූ අතර පාකිස්තානය දේශපාලන හේතූන් මත 1991 තරගාවලිය වර්ධනය කළේය. ඉන්දියාව සහ පාකිස්තනය අතර දේශපාලන අර්බුදය හේතුවෙන් 1993 තරගාවලිය අවලංගු කෙරිණි.  

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දස්කම් තවමත් ඉදිරියෙන්  තිබේ. ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ආසියානු කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ බැබලුණු චරිතයකි. සනත් ජයසූරිය ආසියානු කුසලාන තරග 25 කදී ලකුණු 1220 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ජයසූරිය 2008 වසරේ පාකිස්තානයේදී පැවැති තරගාවලියේදී ලකුණු 378 ක් රැස්කරමින් එක තරගාවලියක වැඩිම ලකුණු වාර්තාවට ද හිමිකම් කියයි. ජයසූරිය ශතක හයක් රැස්කරමින් ආසියානු කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා ලෙස තවමත් රැඳී සිටියි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තරග 24 කදී කඩුලු 30 ක් දවාගනිමින් ආසියානු කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ඉහළතම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. 

♦ සටහන: යොහාන් භාසුර
   ඡායාරූප: ළහිරු හර්ෂණ