ලොව විශාලතම මහද්වීපය වන ආසියාවේ ඉදිරි වසර දෙකේ ක‍්‍රිකට් ශූරයා බවට පත්වීමේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආසියානු කුසලාන ක‍්‍රිකට් අවසන් මහා සටන පසුගිය සිකුරාදා ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාව ජය ලැබුවද බංග්ලාදේශය ජය ලැබුවද එයින් ශ‍්‍රී ලංකාවට වාසියක් නොවන අතර මෙම ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් ඉතිරි කළ තරගාවලියක් බවට පත්විය.
ඉන්දියාව මෙවර ශූරයන් වුවහොත් මෙය හත්වැනි අවස්ථාව වන අතර බංග්ලාදේශය ශූරයන් බවට පත්වුවහොත් එය පළමු වතාව වේ. බංග්ලාදේශය පසුගිය බදාදා පාකිස්තානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමද මෙවර තරගාවලියේ තවත් විශේෂ සිද්ධියක් බවට පත්විය.
ආසියානු කලාපයෙන් තවත් දක්‍ෂ සහ තරගකාරී කණ්ඩායමක් ලෙස ඇෆ්ගනිස්තාන් පිල කරළියට පැමිණීම මෙවර තරගාවලියේදී වඩාත් කැපී පෙණුනු සිද්ධිය බවට පත්විය. ශ‍්‍රී ලංකාව වැනි ප‍්‍රබල රටවල් පළමු වටයෙන්ම ඉවතට විසිවන විට ඇෆ්ගනිස්තානය සුපිරි සිවුදෙනාගේ වටයට පැමිණ එහිදී ප‍්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක් බවට පත්විය.
ඇෆ්ගනිස්තානය පළමු වටයේ තරග දෙකේදී අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගනිමින් අපරාජිතව සිටීම කැපී පෙනුණි. ඉන්පසුව ‘සුපිරි’ සිවුදෙනාගේ වටයේ පළමු තරග දෙකේදී අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී පාකිස්තානු සහ බංග්ලාදේශ යන කණ්ඩායම්වලට එරෙහිව ක‍්‍රීඩා කළ ආකාරය අගය කළ යුතුය.
එහිදී පාකිස්තානය කඩුලු 3ක ජයග‍්‍රහණය සඳහා අවසන් ඕවරයේ තෙවැනි පන්දුව දක්වා කල්ගත කළේය.
බංග්ලාදේශයට එරෙහිව තරගයේදී ඇෆ්ගනිස්තානයට ජයග‍්‍රහණය සඳහා අවසන් ඕවරයට ලකුණු 8ක් ලබාගැනීමට සිදුවුවද එය ලබාගැනීමට නොහැකි වීමෙන් බංග්ලාදේශය ලකුණු 3ක තියුණු ජයක් ලැබීය. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගයේදීද ඉන්දීය පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් විවේක ගන්වා තිබූ අතර ඇෆ්ගනිස්තාන් පිතිකරුවෝ ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත් වූහ.
තරගාවලිය පුරාම ඇෆ්ගනිස්තානු පිලෙන් දැකගත හැකිවූයේ ඔවුන් කඩුලු ආරක්‍ෂා කරගනිමින් ලකුණු 250ක ඉලක්කයක් තබාගැනීමය. එම ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගැනීමට පන්දු යවන්නෝ උත්සුක වෙති.
ඇෆ්ගනිස්තානු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකු වන විශාල ශරීරයකට හිමිකම් කියන කඩුලු රකින ක‍්‍රීඩක ආරම්භක පිතිකරු මොහොමඩ් ශෂාඩ් ඉන්දියාවට එරෙහිව රැස්කළ ශතකය මෙහිදී කැපී පෙනේ. තවද හිටපු නායක මොහොමඩ් නබී ද පිතිකරු ලැයිස්තුවේ කැපී පෙනේ. රෂිඩ් ඛාන්ට ඇෆ්ගනිස්තානු පන්දු යැවීමේ බලඇණියේ වැඩි බරක් පැටවී ඇති අතර ඔහු එම වගකීම වඩාත් හොඳින් ඉටු කළේය.
ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ ක‍්‍රීඩා විලාශය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආදර්ශයක් කරගත හැකිය. ඇෆ්ගනිස්තානු පිලෙන් සැළැස්මක් දැකගත හැකි වූ අතර සියලුම ක‍්‍රීඩකයන් එම සැළැස්ම තුළ ක‍්‍රීඩා කරන ආකාරයක් තිබුණි. ඇෆ්ගනිස්තානය පසුගිය අඟහරුවාදා ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගය සමව අවසන් කිරීම කැපී පෙනුණි.
මෙහිදී හොංකොං පිලද අමතක කළ නොහැක. හොංකොං පිල ප‍්‍රබල ඉන්දියාවට එරෙහිව තරගයේදී හොඳ අභියෝගයක් යොමුකළ අතර ඔවුන් තුළ ජාත්‍යන්තර මට්ටමේ දස්කම් තිබුණේ නම් ඉන්දියාවේ අපරාජිත වාර්තාව පළමු තරගයේදීම බිඳ වැටීමට ඉඩ තිබුණි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඇෆ්ගනිස්තානයේ තරගාවලියක් බවට පත්විය.
යොහාන් භාසුර ඩුබායි නුවර සිට