මුදලට ක‍්‍රිකට් තරග සහ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් මීට වසර 10 කට පමණ පෙර පාකිස්තානය නමක් දිනාසිටියද ශ්‍රී ලංකාව මේ වනවිට එහි කිරුළ ආසන්න වන තත්ත්වයකට පත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළම තැන තැබීමට දහඩිය වැගිරූ හිටපු ක‍්‍රීඩකයන්ගේ සිට වර්තමානයේ ප‍්‍රබලයන් සහ තරග කීපයකට පමණක් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන්ගේ නම් මෙම තරග මුදලට පවාදීමේ අවමානාත්මක ක‍්‍රියාවට සම්බන්ධ බවට ප‍්‍රචාරයන් පැතිර යමින් තිබුණි.
එම ක‍්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා පිල නියෝජනය කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද සිටින බවට නිල නොවන වාර්තා සඳහන් කරයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනටත් සේවය කරන සහ සේවය කළ නිලධාරීන් කීපදෙනකුගේ නම්ද මෙම විමර්ශනයට සම්බන්ධව ඇති බව කියවේ. එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටින ඇතැම් ක‍්‍රීඩකයන්ගේ නම්ද ඒ අතර තිබීම වඩාත් බරපතළ තත්ත්වයකි.
එම ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මෙම පරීක්‍ෂණ හෝ ක‍්‍රීඩකයන් පිළිබඳව කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවයි.
“අපිට ඒ විමර්ශන පිළිබඳව කිසිදු දැනුම්වත්වීමක් නෑ. එක එක අයට නම් කියන්න පුළුවන්. එත් ඒ ක‍්‍රීඩකයන්ට මේ දක්වා චෝදනාවක් හෝ ඉදිරිපත් වෙලා නෑ.”
“එවැනි කිසියම් හෝ සිද්ධියක් වුවහොත් ඒ පිළිබඳව ක‍්‍රිකට් ආයතනය දැනුවත් කරන ලෙස අපි ක‍්‍රීඩකයන් දැනුවත් කර තිබෙනවා. ඔවුන් ඒ ආකාරයට කටයුතු කළ යුතුයි” යැයි ප‍්‍රධාන විධායකවරයා වැඩි දුරටත් පැවසීය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ හිටපු ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් හිටිහැටියේ උස්සන් යෑම සහ එම පුද්ගලයන්ගේ දුරකථන ඔවුන් බාරයට ගැනීම පසුගිය සතිය වනවිට වඩාත් අවධානයට ලක්වූ සිද්ධියක් බවට පත්ව තිබුණි. එහි ආසන්තම සිද්ධිය ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පළාත් සහ දිස්ත‍්‍රික් පුහුණුකරුවන්ගේ ප‍්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතා අයි.සී.සී. නිලධාරීන්ගේ බාරයට ගැනීම පෙන්වා දිය හැකිය. හේමාල් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ රැඳී සිටියදී කිසිදු දැනුම්දීමකින් තොරව ගෙන ගොස් තිබූ අතර ඔහුව කුමන ස්ථානයකට ගෙනගියේද යන්න පවා පැවසීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම්වත්ව නොසිටියේය.
ශ්‍රී ලංකා හිටපු වමතින් වේගපන්දු යවන්නකු මෙන්ම වර්තමානයේ පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරන හිටපු ක්‍රීඩකයකුද මීට පෙර මේ ආකාරයටම බාරයට ගෙන ප‍්‍රශ්න කර ඇති අතර ඔහුගේ පෞද්ගලික දුරකථනයද ඔවුන්ගේ බාරයට ගෙන තිබුණි. අදාළ හිටපු වේගපන්දු යවන්නාගෙන් හේමාල් මෙන්ඩිස් සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න කර ඇති බව වර්තා වේ. මෙම ප‍්‍රශ්න කිරීමේ ජාලය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙහි කිසියම් රහසක් තිබේද යන ප‍්‍රශ්නයද මතුවේ.
අල්-ජසීරා රූපවාහිනිය හෙළිකළ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරැව පිළිබඳව සිද්ධිය සහ ශ්‍රී ලංකා පිලේ හිටපු ක‍්‍රීඩකයන් දෙදෙනකු සම්බන්ධ සිද්ධිය පිළිබඳව අයි.සී.සී. දූෂණ මර්දන අංශ නිලධාරීන් ප‍්‍රශ්න කර තිබේ. ගාල්ල සිද්ධියට සම්බන්ධ නිලධාරීන් දෙදෙනාගේ දුරකථන පරීක්‍ෂාවෙන් නොනැවතී බැංකු ගිණුම් පවා පරීක්‍ෂාකර ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එම නිලධාරීන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් එසේ නැත්නම් ඔවුන් වරදකරුවන්ද නිවැරදිකරුවන්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ප‍්‍රකාශ කර නොමැත.
ක‍්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩකයන් දෙදෙනකු තවත් පාර්ශවයක් සමඟ කළ සාකච්ඡාවක් හේතුවෙන් පුහුණුකරුවකු වූ එක පුද්ගලයකු මේ වනවිට වැටුප් සහිතව සේවය අත්හිටුවා තිබේ. එම පුද්ගලයන්ගෙන්ද අයි.සී.සී. නිලධාරීන් ප‍්‍රකාශ සටහන් කරගත්තද මේ දක්වා ප‍්‍රතිඵලයක් නොමැත. එම සිද්ධියට සම්බන්ධ මේ වනවිට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින හිටපු ක‍්‍රීඩකයාගෙන්ද අයි.සී.සී. නිලධාරීන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වේ. මෙම ප‍්‍රශ්න කිරීම්වලදී නිරන්තරයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කෙක් පිළිබඳව ප‍්‍රශ්න කරන බව වාර්තා වේ.
“ඔබ අපෙන් මොනවා හරි දෙයක් වසන් කරනවා නේද? ඔබට සම්බන්ධ ප‍්‍රධානියකු පිළිබඳව සඳහන් කරන්න බයයි නේද?” යනුවෙන් අයි.සී.සී. දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ 25කට ආසන්න පුද්ගලයන් බොහෝ දෙනකුගෙන් විමසා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පසුගිය වසර දෙකක පමණ කාලයක සිදුවූ ඇතැම් සිදුවී දෙස බැලීමේදී “ගින්නක් නැතුව දුම් නොනගී” යන කියමනද මතකයට නැගේ.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට සිම්බාබ්වේ හමුවේ තරගාවලි පරාජයක් ලැබීය. එසේම නායකයා කාසියේ වාසිය ලබා කණ්ඩායමේ එකඟතාවට පටහැනිව කටයුතු කිරීම වැනි සිද්ධිද නොතිබුණා නොවේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මෙම විමර්ශනය සඳහා අවශ්‍ය වටපිටාව සකස්කරගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ක‍්‍රීඩකයන් සහ ඇතැම් වර්තමාන ක‍්‍රීඩකයන් ද ලුණු ඇඹුල් මුසුකර ඇති බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මෙවැනි සිද්ධිවලට සම්බන්ධ බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ නම කියවුණු ඇතැම් ක‍්‍රීඩකයන්ගෙන් මේ දක්වා වචනයක හෝ ප‍්‍රකාශයක් නොගැනීමද ගැටලු සහගතය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට ලුණු ඇඹුල් මුසුකර ක‍්‍රීඩකයන් අතර තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ කෑගැසූ ක‍්‍රීඩකයකු සිටින බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථා පැතිර තිබේ.
♦ සටහන: යොහාන් භාසුර