ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශ ගිණුමකට තැම්පත් කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සඳුදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයට කඩා පැන පරීක්‍ෂා කර තිබේ.
මෙම දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ යැයි කියන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති මූල්‍ය අංශ ප‍්‍රධානියා මේ වන විට අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය අඟහරැවාදා ඔහුගේ නිවසට ගිය ද ඔහු නිවසේ නොමැති බව පවසා ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියත් සමඟ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය වසර කීපයක මුදල් පිළිබඳ විගණනයක් පැවැත්වෙන අතර එහිදී තවත් මුදල් අවභාවිතය වූ අවස්ථා රැසක් හෙළි වී ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයකුගේ ගම් ප‍්‍රදේශයේ ක‍්‍රීඩාංගණයක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් වියදම් කරඇති බවට හෙළි වී ඇති බව වාර්තා වේ.
මෙම විගණන පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල කිසියම් වගකිව යුතු ආයතනයක් හෝ පුද්ගලයකු අධීක්‍ෂණය කරන්නේ ද යන්න සැක සහිතය. එසේ නොකරන්නේ නම් පෞද්ගලික ආයතනයකට ගෙවීම් සිදු කරමින් කරන එම විගණනයේ කිසිදු පළක් නොමැත.
I විශේෂ ලියුම්කරුවකු විසිනි