“අයියේ මට මගේ ‘ස්ටාන්ස්’ එක දැන් මතකත් නෑ. මගේ ස්ටාන්ස් එක වෙනස් කළා. ඒකයි මට දැන් බැට් කරගන්න බැරි” මෙම ප‍්‍රකාශය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ පිතිකරුවකු කළ ප‍්‍රකාශයකි. මල්ලි ඔයා පරණ විදියට බැට් කරන්න. එතකොට මොකද වෙන්නෙ කියලා බලමු’’ යැයි ඔහුට වෙළෙඳ සේවා මට්ටමේදී උපදෙස් ලැබී තිබේ. එහිදී ඔහු පැරණි ආකාරයට ක‍්‍රීඩාකර ශතකයක්ද රැස්කළ බව දැනගන්නට තිබේ.
‘ස්ටාන්ස්’ එක යනු කුමක්ද යන්න ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව දැනුමැත්තන් ඉතාමත් හොඳින් දන්නා දෙයකි. එය කෙටියෙන්ම කියනවා නම් පිතිකරුවකු පන්දුවට පහර දෙන ඉරියව්වය. අන්තර්ජාතික මට්ටමේ පිතිකරුවන් කීපදෙනකු ගත්විට ඔවුන් පාද දෙක තබාගන්නා ආකාරය, හිස ඔසවන ආකාරය සහ පිත්ත උඩට එසවන ප‍්‍රමාණය ආදිය එකිනෙකාට වෙනස්ය. පිතිකරුවකු අන්තර්ජාතික මට්ටමට පැමිණෙට විට වසර 15ක් පමණ ඒ ආකාරයට අවම වශයෙන් පන්දු දසදහසකට පමණ පහරදී තිබේ.
එවැනි තමන්ගේ ශරීරයට පදනම් වී තිබෙන දෙයක් වෙනස් කිරීමට පුහුණුකරුවන් කටයුතු කළහොත් ඔහු පන්දුවට පහර දෙන ආකාරය සහ පහර දෙන වේගය ආදී සියලුම දේ වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල තරුණ පිතිකරුවන් දෙපළගේ ‘ස්ටාන්ස්’ වෙනස් කිරීමට පිතිකරුවන්ට සම්බන්ධ පුහුණුකරුවකු කටයුතු කර ඇති බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය හමුවේ එම පිතිකරුවන් දෙදෙනාම මේ දිනවල අසාර්ථක ගොඩට වැටී සිටිති.
ශ්‍රී ලංකා එක්දින පිලේ වර්තමාන ප‍්‍රබල ක‍්‍රීඩකයකුද මීට පෙර මෙවැනි උපදෙස් ලැබීමෙන් අඛණ්ඩව අසාර්ථක තත්ත්වයට පත්ව සිටියේය. කෙසේ වෙතත් ඔහු මේ වන විට හිසේ තිබූ බර පසෙක තබා පන්දුවට පහරදීම හේතුවෙන් මේ වනවිට හිස ඔසවා තිබේ. එංගලන්තයට එරෙහිව පසුගිය අඟහරුවාදා අවසන් වූ එක්දින තරගාවලියේදී තරුණ පිතිකරුවකු සාර්ථක වූ විට පුහුණුකරුවකු පවසා ඇත්තේ මෙවැනි ප‍්‍රකාශයකි.
“අන්න හරි ඔය හොඳට ගැහුවේ. අන්න එහෙම ඔයාගේ විදියට ගහන්න ඕනේ.”
කෙසේ වෙතත් මෙම පුහුණුකරු ඔහු පන්දුවට පහර දීමට පිටත්ව යනවිට සහ ඊට පෙර ප‍්‍රකාශ කර ඇත්තේ ඊට වඩා වෙනස් ප‍්‍රකාශයකි. ජාතික මට්ටමේ පුහුණුකරුවකු කළ යුත්තේ එම පිතිකරුගේ පුරුදු වෙනස් කිරීම නොව ඔහුගේ දස්කම් වැඩි දියුණු කිරීමය. එය එසේ වුවද වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් තමන්ට අයිති නැති රාජකාරිවල නිතරව සිටින බවට කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවැනි ආකාරයට පුහුණුකරුවන් පිතිකරුවන්ගේ පුරුදු වෙනස් කරන්නේ නම් පාකිස්තානයට ඉන්සමාම් උල් හක් ලෙස ප‍්‍රබල පිතිකරුවෙක් ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ශිවනරින් චන්ද්‍රපෝල් ලෙස ප‍්‍රබල පිතිකරුවෙක්ද නොමැති වීමට ඉඩ තිබිණි.
වර්තමාන ශ්‍රී ලංකා පිලේ ඇතැම් පුහුණුකරුවන් තමන්ගේ කාර්යභාරය හරිහැටි හඳුනාගෙන නැති බව පෙනී යයි. පුහුණුකරු ධුරයට පැමිණි වහාම සමහරු තේරීම්වලටද ඇඟිලි ගැසූහ. ශ්‍රී ලංකාව ලෝක කුසලාන දෙකක් ජය ලබන විට එම කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස සිටියේ විදේශිකයෝය. ඔවුන් කිසිම විටක තේරීම් කමිටුවේ සාමාජිකත්වය ඉල්ලා සිටි බවක් අප අසා නොමැත.
ක‍්‍රීඩකයන්ගේ කණ්ඩායමේ කළමණාකාරිත්ව පිළිබඳව තොරතුරු ලබාගැනීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හැකි ඉක්මනින් කළ යුතුව තිබේ. එසේ තොරතුරු ලබාගෙන හැකි ඉක්මනින් ඒවාට ප‍්‍රතිකර්මය යෙදිය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබීමට නම් ක‍්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් සිටිම අනිවාර්ය බව බලධාරීන් මතකයේ තබාගත යුතුය.
සටහන: වරකාගොඩ ගමගේ