2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

සුසන්තිකා ජයසිංහගේ කබරගොයි කතා

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 422

ආජන්ටිනාවේදී පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ දරිද්‍රතාවයෙන් පෙළන පවුලක සාමාජිකාවක් වන පාරමී වසන්ති මාරිස්ටෙලා පසුගිය සෙනසුරාදා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළේදී ඇය ඇතුළු ක‍්‍රීඩිකාවන්ට මීට පෙර ක‍්‍රීඩා අමාත්‍යංශය ලබාදුන් පොරොන්දු කඩකළ බවට ප‍්‍රකාශ කළාය. ඇය එය ප‍්‍රකාශ කිරීමට මැලිකමක් දැක්වූ අතර මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීම මත ඇය යම් තරමකට මේ ප‍්‍රකාශය කළාය.

එම අවස්ථාවට සහභාගි වී සිටි ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රවර්ධන උපදේශිකා හිටපු කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ඉන්පසුව පාරමී කළ ප‍්‍රකාශය විවේචනය කිරීමෙන් නව අර්බුදයක් නිර්මාණය විය. එහිදී ඇය පැවසුවේ පාරමී තවමත් පාසල් ක‍්‍රීඩිකාවක් බවත් ඇය එවැනි චෝදනාවක් කිරීම අසාධාරණ බවත්යි. තමන්ටද පහසුකම් ලැබුණේ කල්ගත වී බවද කී සුසන්තිකා ජයසිංහ තමන් ඇතුළු දර්ශා සහ කුලවංශ යන නමද පාවිච්චි කළාය.

සුසන්තිකා කන්න  ඕන වුණාම කබර මස් වුවද තලගොයි මස් බවට පත්කරගන්නා බව බොහෝ දෙනකුගේ අදහස මෙහිදී සනාථ වී තිබේ. හිටපු ධාවන ශූරියන් වන දමයන්ති දර්ශා සහ ශ්‍රීයානි කුලවංශ යන ක‍්‍රීඩිකාවන් සුසන්තිකාට මතකයට එන්නේ මෙවැනි අවස්ථාවකදී පමණි. සුසන්තිකා ජයසිංහ යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ආසියාවේම ගෞරවයට පාත‍්‍රවිය යුතු චරිතයකි. නමුත් හැසිරීම සහ කථා විලාශය අනුව ඇය වැරැදි ආකාරයට පුවත් මවන්නියක් බවට පත්ව සිටින්නීය.

සුසන්තිකා ශ්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වැඩිම වරප‍්‍රසාද ලැබූ ක‍්‍රීඩිකාව කිවහොත් එහි කිසිදු විවාදයක් නැත. ඇය 2000 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා සිඩ්නි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමේ සිට වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දක්වා සුසන්තිකාට විවිධ දීමනා ලබාදී තිබේ. තවද ඇය මේ දක්වා වසර 18ක කාලයේ පත්වූ ක‍්‍රීඩා අමාත්‍යවරුන් කීපදෙනකු හැර සියලුම දෙනාගෙන් විවිධ වරප‍්‍රසාද ලබාගත්තාය.

ඇයට ඔලිම්පික් පදක්කම වෙනුවෙන් එවකට රජය ‘සොයිසාපුර’ සහ ‘නාරාහේන්පිට’ නිවාස සංකීර්ණවලින් නිවාස දෙකක් ලබාදුන් බව වාර්තා වේ. ඇය දැනටත් නාරාහේන්පිට නිවසේ පදිංචිව සිටින බව තතු දන්නෝ පවසති. එම නිවාස දෙකට අමතරව රජයෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ප‍්‍රදානය කෙරිණි. ඊට අමතරව විවිධ පෞද්ගලික ආයතනද රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක් ප‍්‍රදානය කළ බව වාර්තා වේ. තවද ඇයට ශ්‍රී ලංකාවට ආනයනය කළ පළමු ‘මොන්ටේරෝ’ වර්ගයේ ජීප් රථයක්ද රජය ප‍්‍රදානය කර තිබේ. එහිදී ඇයට එම රථයේ අංකය ලෙස ඇය ඔලිම්පික් පදක්කම දිනාගත් තරගයේ තරග අංකය ලබාදුන් බවද ඇතැම්හු පවසති. 

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ක‍්‍රීඩා අමාත්‍යවරුන්ගේ ක‍්‍රීඩා උපදේශක වශයෙන් මාසික දීමනාද බොහෝමයක් සුසන්තිකා ලබාගත්තාය. වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මීට වසර දෙකකට පමණ පෙර සුසන්තිතා කුරුණෑගල ප‍්‍රදේශයේ ක‍්‍රීඩා සංකීර්ණයක් ඉදිකරන බවට මුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළාය. එහිදී ජනාධිපතිවරයා ද එම ව්‍යාපෘතියට මිලියන ගණනක මුදලක් ලබාදුන් බවට මාධ්‍ය වාර්තා පළවිය. නමුත් එවැනි ක‍්‍රීඩා සංකීර්ණයක් ඉදිනොකළ අතර එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙක් නොදනිති. 
ආසියානු කලාපයේම කෙටිදුර ධාවන ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන ඇත්තේ සුසන්තිකා පමණි. ඒ හේතුවෙන් ඇයට කොතරම් දීමනා සහ වරප‍්‍රසාද ලබාදුන්නද එහි වරදක් නැත. නමුත් සුසන්තිකා ජයසිංහ වාසි පැත්තට පැනීමටද ධාවනයට මෙන්ම දස්කම් දක්වන බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනකුගේ මතය වී තිබේ. ඇය පසුගිය ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මුලදී ‘රොහාන් ප‍්‍රනාන්දු’ පාර්ශය නියෝජනය කළද නිලවරණයෙන් පසුව ජයග‍්‍රහණය කළ ‘සුබ‍්‍රමනියම්’ පාර්ශවයට එකතු වූවාය.

ඇය ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිනියක් ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කළද කළ වැඩක් නොමැත. තවද ත‍්‍රිකුණාමලය මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිනිය ලෙස පත්වුවද එහි රැස්වීවලටද සහභාගිවී නොමැති බව දැනගන්නට තිබේ. ඇය විවිධ ප‍්‍රකාශ ඔස්සේ හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරුන් සමඟ ගැටම් ඇතිකරගත් අවස්ථා රැසක් ඉදිරිපත් කළ හැකිය. ඇය ක‍්‍රීඩා කරන අවධියේ ක‍්‍රීඩා අමාත්‍යවරයා වූ එස්.බී. දිසානායක මහතා සමඟ ගැටලු ඇතිකරගත් අවස්ථා බොහෝය. පුහුණුවීමට ක්‍රීඩා අමාත්‍යංශ පිටියට පැමිණ උණුවතුර බෝතලය නැති වූ විට පවා ඇය කතාකළේ ඇමැති එස්.බී.ටය. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයාට පෙර ක‍්‍රීඩා ඇමති ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මහතා සමඟද සුසන්තිකා ගැටුමක් ඇතිකර ගත්තාය. පාරමී කළේ නොකළ යුතු කතාවක් බව කියන්නේ මේ සුසන්තිකා ජයසිංහමය.

විශේෂ ලියුම්කරුවකු විසිනි