බොහෝ දෙනකුගේ දැඩි අවධානය යොමු වී තිබෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන ජනවාරි මස අග පැවැත්වීමට හැකිවේ යැයි ක‍්‍රීඩා අමාත්‍යංශය විශ්වාසය පළ කරයි. ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ නීති ප‍්‍රශ්න උද්ගත නොවුණහොත් පෙබරවාරි මස ආරම්භ වනවිට නිලවරණයෙන් පත්වූ විධායක කමිටුවකින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලනය ගෙන යා හැකි බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සංවිධානය කිරීම සඳහා නිලවරණ කමිටුව පත්කිරීමේ විශේෂ මහ සභා රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී මේ මස මස 12 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. මෙම විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් නිලවරණ කමිටුව පත්කිරීමට නියමිතය. ඒ සඳහා මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක් කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සමාජිකත්වය දරන පළාත් සහ දිස්ත‍්‍රික් සංගම් ඇතුළුව ක‍්‍රීඩා සමාජ 86 කට විශේෂ මහ සභාවට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති අතර එම ක‍්‍රීඩා සමාජ පසුගිය සිකුරාදාට පෙර එම අවස්ථාවට සහභාගි වන නියෝජිතයන් නම් කළ යුතුව තිබුණි.
කෙසේ වෙතත් ඇතැම් පළාත් සහ දිස්ත‍්‍රික් සංගම්වල මෙන්ම ඇතැම් ක‍්‍රීඩා සමාජවල පාර්ශ්ව අතර ගැටුම් පවතින අතර මෙවැනි අවස්ථාවල නියෝජිතයන්ගේ සහභාගිත්වය පිළිබඳ ගැටලු මීට පෙර මතු වී තිබේ. එවැනි අවස්ථාවලදී සහභාගිත්වය ලබාදීමට කාලය ගැනීමට සිදුවිය හැකිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරී මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් ධර්මසිරි මහතා මෙම විශේෂ මහ සභාව සංවිධානය කිරීම වගකීම ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතාට පවරා තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය මැයි මස පැවැත්වීමට නියමිතව තිබුණ ද නිලවරණ කමිටුව පිළිබඳව ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිලවරණය කල්දැමීමට පියවර ගත්තේය. ඉන්පසුව හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා නිලවරණය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීම හේතුවෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පැනවූ අතර මීට මාස දෙකකට පමණ එය ඉවත් කළේය. එහිදී ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ නිලවරණ පැවැත්වීමට අදාළව ක‍්‍රීඩා නීතිය සංශෝධනය කිරීමෙන් පසුව නිවැරදි ක‍්‍රමයට නිලවරණය පවත්වන බවයි. ඒ අනුව මීට මාසයකට පමණ පෙර එම නීති සංශෝධනය කෙරිණි.
මෙම තත්ත්වය හමුවේ ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් හමුවී ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා දක්වා නිලවරණය පැවැත්වීමට කල් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් තරම්ම උණුසුම් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසාම ඉදිරියේදී බොහෝ දේ අසන්නට දැකින්නට හැකියාව තිබේ.
♦ වරකාගොඩ ගමගේ