‘‘ශ්රී ලංකා පාපන්දු සම්මේලනය රටේ නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් ඇතැම් පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීම වැනි විකල්පයට යෑමට පවා සිදුවිය හැකියි. ‘‘මෙම ව්‍යවස්ථා සංශෝධනය අපේ විදේශ ප‍්‍රතිපත්තියට පටහැනියි. අපේ රටට ගැලපෙන දේ ඔවුන් කරලා නැත්නම් දඬුවම් ලැබිය යුතුයි. එම දඬුවම සමහර විට අතුරු කමිටුවක් වෙන්නත් පුළුවන්” යැයි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේ පැවසීය.
ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශ හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ හෝ සභාපතිවරයා ඉවත්කිරීමේ අවදානමක් පසුගිය සතිය වන විට උද්ගත වී තිබුණි. මෙම නිලධාරීන්ගේ පාලනය තුළ ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව වළපල්ලට ඇදවැටීම මෙයට හේතුව නොවන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය උල්ලංගණය කළේ යැයි චෝදනාව මෙයට හේතු වී තිබේ. මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා ආසියානු පාපන්දු සමුළු මහා සභා රැස්වීමේදී එහි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතා පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේය.
ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික රටවල් 47 න් 43 ක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ අතර ඊට විරුද්ධව රටවල් හතරක් පමණක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණි. සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව සහ උස්බෙකිස්තානය සංශෝධනයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ රටවල් වේ.
මෙම ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති අනුර ද සිල්වා සහ ලේකම් ජස්වර් උමාර් යන මහත්වරු ඇතුළු තිදෙනකු සහභාගි වී ඇති බව වාර්තා වේ. මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයකු වෙනත් රටවල් තුනක යෝජනාවක් අනුව ආසියානු පාපන්දු සමුළුවේ නිලධාරියකු ලෙස පත්ව ශ‍්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කිරීමේ අවදානමක් ඇති බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කරයි.
‘‘මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීමට පෙර විදේශ කටයුතු ඇමතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශයේ නිර්දේශය ලිඛිතව ලබාගත්තා. ඔවුන් මා සමඟ සාකච්ඡා කළා. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ මේකට සහාය දැක්වීම භයානක බවයි. ශ‍්‍රී ලංකාවේ අනුදැනුම නොමැතිව පත්වන නිලධාරියකුට අපිට විරුද්ධව කටයුතු කළ හැකි බවයි” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
සෞදි අරාබි පාපන්දු නිලධාරීහු පිරිසක් ආසියානු පාපන්දු සමුළු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හොර රහසේ ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවරගෙන තිබූ බව දැනගන්නට තිබේ. ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසන්නේ මෙහිදී තමන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි පරිදි දැනුවත් කිරීමෙන් පසුව සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ බවයි. ‘‘මෙම ව්‍යවස්ථා සංශෝධනය අදාළ වන්නේ ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිවරයා පත්කිරීමේදී පමණයි. ශ‍්‍රී ලංකාවෙන් සභාපති ධූරයට නාමයෝජනාවක් නොමැති අවස්ථාවක සාමාජික රටවල් තුනකට එක්වී ශ‍්‍රී ලංකාවට අපේක්‍ෂකයකු යෝජනා කිරීමේ හැකියාව මෙහිදී ලැබෙනවා” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රධාන හේතුව ආසියානු පාපන්දු සමුළුවේ වර්තමාන සභාපති බහරේන් ජාතික ෂෙයික් ෂල්මන් මහතාට නැවත බලයට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බවටද වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩා සංගම් නිලධාරීන් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ නොතකා කටයුතු කළ පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පාලන කාලයේදී ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා නොසළකා හැරීම වඩාත් කැපී පෙනුණි. මූල්‍ය ආධාර සහ විදේශ සංචාර මෙම තීරණවලට බලපෑම් ඇති කරන බව අමතුවෙන් කිවයුතු නැත. ලෝක පාපන්දු සම්මේලනය සාධාරණ හේතුවක් නොමැතිව අතුරු කමිටු පිළිනොගන්නා අතර මෙම හේතුව මත අතුරු කමිටුවක් පත්කළහොත් කුමන තත්ත්වයක් උද්ගතවේද?
I විශේෂ ලියුම්කරුවකු විසිනි