2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

රොෂේන් සිල්වා බංකුවේ තබා පිතිකරණයේ කොන්ද කඩා ගැනීම

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 184

එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගිය අඟහරුවාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය ඇස් පියාගෙන අවසන් එකොළොස්දෙනා නම් කළේද යන්න සැකසහිතය. තුන් ඉරියව් රෝගය නිසා එක්දින පිල විනාශයට පත්වූ අතර ටෙස්ට් පිලටද තුන් ඉරියව් රෝගය වැළඳීම එතරම් සුබදායක නොවේ.

තරගයේ තෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ක‍්‍රීඩාව අත්හිටුවන විට එංගලන්ත පිල තරගයේ සම්පූර්ණ පාලනය නතුකර ගැනීමට සමත්ව සිටියේය. රංගනට ත්‍යාගයක් ලබාදීමට නම් ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී ලකුණු 462 ක් රැස්කර යුතුව තිබූ අතර තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට නම් දින දෙකක් කඩුලු රැකගැනීමට සිදු වී තිබිණි.

එංගලන්ත පිල තරගයේ පළමු දිනයේදී කඩුලු අටක් දැවී ලකුණු 321 ක් රැස්කිරීමෙන් වාසිය හිමිකරගත්තේය. මෙම තරගයෙන් ටෙස්ට් ක‍්‍රිකට් පිටියට සමුදෙන සුපිරි වමතින් දඟපන්දු යවන්නා වන රංගන හේරත් ආරම්භයේදීම වැඩ අල්ලමින් ජෝ රූට් දවාගත්තේ ගාල්ල ක‍්‍රීඩාංගණයේ කඩුලු 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වෙමිනි. මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වාට ස්ථානය අහිමිකරමින් තුන් ඉරියව් ක‍්‍රිඩකයකු වන ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණි. ධනංජය පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන අතර ඔහු පිට දඟපන්දු යවන්නෙකි.

කෞෂාල්, දිමුත්, කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, මැතිව්ස් සහ දික්වැල්ල නිත්‍ය පිතිකරුවන් හයදෙනා වෙති. ධනංජය ද සිල්වාට පිතිකරු ලැස්තුවේ අංක තුන ස්ථානයට පත්විය. ධනංජය රිවර්ස් ස්විප් පහරක් ගැසීමට ගොස් දැවී යෑමෙන්ම ඔහු ටෙස්ට් පිලට සුදුසු නොවන බව ප‍්‍රදර්ශනය කළේය. නිරෝෂන් දික්වැල්ල වැනි පිතිකරැවකු ටෙස්ට් පිලේ අංක හත ස්ථානයේ පන්දුවට පහරදීමට යෙදවීම කොතරම් අනුවණ ද යන්න පළමු ඉනිමේ කඩා වැටීමෙන් පැහැදිලි විය. 

රොෂේන් සහ ධනංජය අහසට පොළව මෙන් වෙනසක් ඇති පිතිකරුවන් දෙපළකි. එම වෙනස අවබෝධ කරගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම නොමැති වීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය පිට දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා ද තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. මෙම කණ්ඩායමට පිට දඟපන්දු යවන්නකු වන අකිල ධනංජය ද ක‍්‍රීඩා කළේය.

ඒ අනුව එකොළොස්දෙනා අතර පිට දඟපන්දු යවන්නන් තිදෙනෙකි. එකම වේගපන්දු යවන්නා සුරංග ලක්මාල්ය. ඔහු අබාධයකට ලක්වූයේ නම් නව පන්දුවෙන් පන්දු යැවීමට හෝ වේගපන්දු යවන්නෙක් නොමැත. ඇන්ජලෝ මැතිව්ස් ආබාධය හේතුවෙන් පන්දු යවන්නේ නැත. ඩිල්රැවන්, ලක්මාල්, අකිල සහ රංගන ගත් කළ ටෙස්ට් තරගවලදී ලකුණු 20 ක් හෝ 30 ක් රැස්කළ හැකි පිතිකරුවෝ වෙති. කෙසේ වෙතත් රොෂේන් එළියෙන් තබා පිතිකරු ලැයිස්තුවේ කොඳු නාරටිය කඩා තිබේ.

ගාල්ල ටෙස්ට් තරගයට පෙර දින යොවුන් වේගපන්දු යවන ක‍්‍රීඩක ළහිරු කුමාර සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ළහිරු කුමාර හෝටල් කාමරයට නියමිත වේලාවට නොපැමිණීම මෙම පියවරට හේතු වී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් කළමනාකාරිත්වය විනය පිළිබඳව දැඩිව කටයුතු කිරීම පැසසිය යුතුය. 

I සටහන: යොහාන් භාසුර

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00