2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ක්‍රිකට් කළමනාකරුගේ අස්වීම

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධානම චරිතයකට මහකෙරුම්කරුවකු ලෙස පැමිණි පුද්ගලයකු කණ්ඩායම තුළ ඔහුගේ හඬට යටත්වන කළමනාකාරීත්වයක් නිර්මාණය කරගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් පසුගිය සතියේ වාර්තා විය. ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා පසුගිය සතියේ කළමනාකාර තනතුරෙන් ඉල්ලා අස්විය. සේනානායක මහතා ඉල්ලා අස්වීමට හේතුව බවට පත්වූයේ කණ්ඩායමේ නිලධාරියකු ඔහු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමක් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ එළඹෙන නවසීලන්ත සංචාරයෙන් සේනානායක මහතා ඉවත් කරන ලෙස අදාළ නිලධාරියා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බවත් සේනානායක මහතා කණ්ඩායමට හානියක් බවට එහි සඳහන්ව තිබූ බවටත් වැඩිදුරටත් වාර්තා විය. ‘‘මම සිටීමෙන් කණ්ඩායමට හානියක් වෙනවා නම් මම ඉවත් වෙනවා” සේනානායක මහතා මාධ්‍යයට පවසා තිබුණි. 

චරිත් සේනානායක යනු කියන්න තියෙන දේ කෙළින්ම කියන චරිතයකි. ඔහුට එහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුද, ක‍්‍රීඩකයෙක්ද, කණ්ඩායමේ වෙනත් පුද්ගලයෙක්ද, යන්න බේදයක් නොමැත. චරිත් සේනානායක මහතා මීට පෙරද ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කෙරිණි. ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමඟ ඇතිවූ ප‍්‍රශ්නයක් මෙයට හේතු වී තිබුණි.

ජාතික කණ්ඩායමේ කෙරුමා යැයි කියන පුද්ගලයා ඔහු සේවයට එනවිට කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ මහතාද ඉවත් කිරීමට කටයුතු කළේය. අසංක ගුරුසිංහ මහතා ඉන්පසුව ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ ක‍්‍රියාත්මක ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙස පත්කරනු ලැබීය.

මෙම නිලධාරියා පසුගිය ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත්කිරීමට මූලික වෙමින් තමන්ගේ දුර්වලතාව වසා ගැනීමට කටයුතු කළ බවටද චෝදනා එල්ල විය. මෙම පුද්ගලයා තමන්ව බිල්ලට දුන් බවට එම ක‍්‍රීඩකයා ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණි. මෙම පුද්ගලයා තම අභිමතය අනුව ක‍්‍රීඩකයන්ද කණ්ඩායමට ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම කරන බව බොහෝ දෙනා පවසති. 

එසේම මොහු පෙර කටයුතු කළ රටේද තමන්ගේම හිතවතුන් පිරිසක් කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්කරගෙන සිටි බවත් ඔවුන්ගෙන් කීපදෙනකු මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයට පැමිණ සිටින බවත් වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම පුද්ගලයාගේ පදයට නටන්නට ගියහොත් කණ්ඩායමේ මීට වඩා ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. එසේ වුවහොත් ඒවා විසඳීම මීට වඩා අමාරැ විය හැකිය. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි