ශ්රී ලංකාව තුළ දැන් පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අවධානයට ලක්නොවුණද ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ගැටලු රැසකට මුහුණදී සිටී. ශ්‍රී ලංකා පිල ගැටලු රැසක් කරපින්නාගෙන පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පසුගිය බදාදා එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයට පිවිසියේය.
පල්ලෙකැලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුව වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ. ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 46 ක වාසියක් ලබාගත්තේය.
පළමු තරගයේදී ස්ථානය අහිමි වූ රොෂේන් සිල්වා ගැලවුම්කරු බවට පත්වෙමින් අන්තයක් ආරක්‍ෂා කරමින් රුස් කළ ලකුණු 85 මෙහිදී කැපී පෙනුණි.
ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වීමෙන් ඉදිරි ටෙස්ට් තරග දෙකම ඔහුට අහිමි වීමේ අවදානමකට පත්ව තිබේ. චන්දිමාල් නොමැති වීමෙන් පිතිකරු ශක්තිය තව දුරටත් දුර්වල වීම වැළැක්විය නොහැක.
ශ්‍රී ලංකා එක්දින පිලේ පසුගිය වසරකට අධික කාලය තුළ කඩුලු දවාගන්නා බවට පත්ව සිටින අකිල ධනංජයට ගාල්ල ටෙස්ට් තරගයෙන් පසුව නීති විරෝධී පන්දු යැවීමේ චෝදනා එල්ල වීම තවත් බරපතළ ගැටලුවකි.
අකිල මේ වන විට පල්ලෙකැලේ ටෙස්ට් තරගයට සහභාගි වී සිටින අතර නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් යන චෝදනාව කරපින්නා ගෙන අකිලට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට හැකිවේ යැයි සැකයක් තිබේ.
අකිල දින 14 ක තුළ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ අනුමැතිය ඇති පරීක්‍ෂණාගාරයකදී පන්දු යැවීම පිළිබඳ පරීක්‍ෂණයකට සහභාගි විය යුතුය. එම පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් අකිලට අන්තර්ජාතික තරගවලට සහභාගි වීමේ බාධාවක් නොමැත.
මෙම තත්ත්වය හමුවේ අකිලට එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වේ. අකිල, දකුණු අප‍්‍රිකාව, එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාවේ පිහිටි පරීක්‍ෂණාගාරයකදී පරීක්‍ෂණයට සහභාගි වීමට නියමිතව තිබුණි.
සචිත‍්‍ර සේනානායක සහ තරිඳු කෞෂාල් මීට වසර තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිටි ප‍්‍රබලතම පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකි. මෙම දෙපළටම පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී යැයි චෝදනා එල්ල වීමෙන් පරීක්‍ෂණවලට ද සහභාගි වීමට සිදුවිය.
එම චෝදනාවෙන් පසුව සචිත‍්‍ර පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කරගනිමින් නැවත ක‍්‍රීඩා කළ ද සාර්ථක නොවීය. තරිඳු කෞෂාල්ට ‘දුෂ්රා’ පන්දුව යැවීම තහනම් කළ අතර දැන් තරිඳු කෞෂාල් සොයා ගැනීමට ද නැති තරම්ය.
අකිල ධනංජය 2012 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ජාතික කණ්ඩායමට පැමිණ ඉන් පසුව වසර කීපයක්ම කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව අන්තර් සමාජ මට්ටමේ රැඳී සිටියේය.
අකිල 2012 වසරේ එක්දින වරම් ලබා වසර පහකට ආසන්න කාලයකට පසුව එනම් 2017 වසරේ ජූනි මස සිම්බාබ්වේට එරෙහිව දෙවැනි එක්දින තරගයට සහභාගි විය. ඔහු එතැන් සිට මාස 15 ක පමණ කාලයක් තුළ එක්දින තරග 29කදී කඩුලු 46 ක් දවාගැනීමට සමත් විය.
අකිල මෙම වසරේ පෙරවාරි මස බංගලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් ලබා ටෙස්ට් තරග හතරකදී කඩුලු 19ක් දවාගැනීමට සමත්ව සිටියි. ඔහු අයි.පී.එල්. තරගාවලිය ද සහභාගි වූ ක‍්‍රීඩකයකු වන අතර මීට පෙර කිසිදු අවස්ථාවක නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්වේ චෝදනාවක් යොමු වී නොමැත.
මෙහි බරපතළම තත්ත්වය බවට පත්වන්නේ අකිලට කිසියම් පන්දුවකට හෝ තහනමක් පැනවුවහොත් එය එක්දින පිලට දැඩි බලපෑමක් කිරීමය. අකිල කඩුල්ල වටා පැමිණ යවන පන්දුව මෙහිදී ගැටලුව බවට පත්ව තිබේ. අකිල පසුගිය කාලය පුරාම කඩුලූ ලබාගැනීමේදී ‘පා දඟ’ සහ ‘ගුග්ලි’ පන්දු ප‍්‍රධාන අවියක් ලෙස යොදාගත් ආකාරය දැකගත හැකිවිය. ඔහු ‘දුෂ්රා’ පන්දුව එතරම් පාවිච්චි නොකරයි.
සුරංග ලක්මාල් ඉදිරි තරග දෙකේදී නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු නායකත්ව සැපයූ මීට පෙර ටෙස්ට් තරග තුනම ශ්‍රී ලංකා ජය ලැබීම නිසා පල්ලෙකැලේදී වාසනා ගුණය මැනබැලිය හැකිය. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලිය රැකගැනීමට නම් මෙම තරගය ජය ලැබීම හෝ විසඳුමකින් තොරව අවසන් කිරීම අනිවාර්ය වී තිබේ.
සටහන: යොහාන් භාසුර