‘පෙර වැරදි’ තිබේ නම් දඬුවම සැර යැයි කියමනක් තිබේ. එම කියමන මේ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද සම්බන්ධ කළ හැකිය. ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු පාලකයන් ප‍්‍රධාන පුහුණුකරු පත්කර ගැනීමේදී කළ වැරැද්දක් මේ වනවිට පාරාවළල්ලක් බවට පත්ව තිබේ. චන්දික හතුරැසිංහ මහතා ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට පත්කරගන්නා අවස්ථාවේදී තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු පාලකයන් පුහුණුකරුට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව සේවා ගිවිසුමෙන්ම ලබාදීමට ඉතිහාසයේ පළමුවරට කටයුතු කළේය.
තිලංග සුමතිපාල මහතා එම පත්වීම නිවේදනය කරමින් පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකා ක්රිකට් ව්‍යවස්ථාව වෙනස් කරමින් ප‍්‍රධාන පුහුණුකරුට තේරීම් කමිටු සාමාජිකත්වය ලබාදුන් බවයි. ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය ඉරිදා අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් නව ක‍්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව චන්දික හතුරුසිංහ මහතා කළේ යැයි කියන ප‍්‍රකාශයකින් නව තේරීම් කමිටුව සහ හතුරුසිංහ මහතා අතර ගැටුමක් නිර්මාණය වීමට පරිසරය සකස් විය.
''නව තේරීම් කමිටුවට තමන් ඇතුළත් වන්නේද නැද්ද යන්න සොයා බැලිය යුතුයි'' යැයි හතුරුසිංහ මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. හතුරුසිංහ මහතා වගකීමක් ඇති නිලධාරියකු නම් මාධ්‍යයට ප‍්‍රකාශ කිරීමට පෙර එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් විමසිය යුතුව තිබිණි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසා තිබුණේ තමන්ට තේරීම්වලට මැදිහත්වීමට අවස්ථාවක් නොමැති නම් දස්කම් පිළිබඳව වගකීම ගත නොහැකි බව හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයට පැමිණීමට පෙර පැවසූ බවත් ඒ හේතුවෙන් ව්‍යවස්ථාව වෙනස් කර ඒ අවස්ථාව ලබාදුන් බවත්ය. ‘‘එය බොහොම සාධාරණ මතයක්. ඒ නිසා අපි ශ්‍රී ලංකා ක්රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා, අනාගතයටත් බලපාන විදිහට, කණ්ඩායම තේරීමේදී ජාතික පුහුණුකරුවාට තම මතය අවධාරණය කිරීමේ අවස්ථාව හදලා දුන්නා. ඒ නිසා කණ්ඩායමේ 11 දෙනා තෝරා ගැනීමේ අවස්ථාවට ඔහු සමඟ නායකයාත් කළමනාකරුවාත් සම්බන්ධ වෙනවා” යැයි සුමතිපාල මහතා පවසා තිබුණි.
කෙසේ වෙතත් සංචාරයක් සඳහා සංචිතය තෝරාගැනීම තේරීම් කමිටුවේ අභිමතය අනුව සිදුවන බවත් එහිදී නායකයාගේ සහ පුහුණුකරුවාගේ අදහස් විමසන නමුත් ඔවුන්ගේ මතය සම්බන්ධයෙන් අවධාරණය කිරීමේ අවස්ථාව ඔවුන්ට නැති බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පවසා තිබුණි. පුහුණුකරුට තේරීම් කමිටු සාමාජිකත්වය ලබාදීමෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යහපතක් සිදුනොවූ අතර අගතියක් වූ බවට මේ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැටී ඇති තත්ත්වය සාක්‍ෂි දරයි.
කුසල් මෙන්ඩිස් වැනි ක‍්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කණ්ඩායමේ ස්ථානය ලැබීමත් ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින සහ විස්සයි20 නායකත්වය මෙන්ම සංචිතයේ ද ස්ථානය අහිමිවීම ඒ සඳහා කදිම උදාහරණයකි. ශ්‍රී ලංකාව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන අංශ තුනෙන්ම දැඩිව අසාර්ථක වී සිටීමෙන් හතුරුසිංහ මහතා කළ දෙයක් නොමැති බව පැහැදිලිය.
හතුරුසිංහ මහතා තමන්ට ඇති බලතල සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. එසේ නොවී තේරීම් කමිටුවේ ඇතැමුන් තමන්ට දිරවන්නේ නෑ ඔහු ඉවත්කරන ලෙස බලපෑම් කළහොත් තත්ත්වය බරපතළ විය හැකිය. ශ්රී ලංකා පිලේ කළමනාකරුවන් ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන මහත්වරුන් මේ වනවිට එම තනතුරේ නොමැති අතර ඉදිරියේදී පන්දු රැකීමේ පුහුණුකරුවකුද ඉවත්කිරීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ හතුරුසිංහ මහතා තේරීම් කමිටු නිලධාරියකු ලෙස ඉදිරියේද කටයුතු කරන බවයි. ''හතුරුසිංහ සංචාරයකදී කණ්ඩායම තේරීම සඳහා කටයුතු කරනවා. සංචිතය තේරීමේදී ඔහුගෙන් තේරීම් කමිටුව උපදෙස් ගන්නවා. පෙර සිද්ධ වුණෙත් එය තමයි'' යැයි ප‍්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
නව තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ක‍්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික‍්‍රමරත්න යන මහත්වරු කටයුතු කරති. මෙහිදී කැපී පෙනෙන සිද්ධිය බවට පත්වූයේ ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් පැවැති තේරීම් කමිටුවේ කිසිදු සාමාජිකයකු නව තේරීම් කමිටුවට ඇතුළත්ව නොමැති වීමය. පැවැති තේරීම් කමිටුවේ කිසිදු නිලධාරියකු නව කමිටුවට ඇතුළත් නොකිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එළඹි තීරණය පැසසිය යුතුය. එම කමිටුවේ බොහෝ සාමාජිකයන් තරග නැරඹීම වෙනුවට දුරකථනය නැරඹූ බවට විවේචන තිබුණි. අසන්ත ද මෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට සුවිශේෂී වගකීමක් පැවරී තිබේ.
සටහන: වරකාගොඩ ගමගේ