ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා එක්දින පිල නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී 3x0 ක සම්පූර්ණ සුද්දයක් ලැබීය. ශ්‍රී ලංකාව එම පරාජයත් සමඟ නව වසරේ පළමු එක්දින තරගාවලිය පරාජයකින් අවසන් කළේය.
නෙල්සන්හිදී පසුගිය අඟහරුවාදා පැවැති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා පිල ලකුණු 115 ක දැවැන්ත පරාජයක් ලැබීය. එහිදී නවසීලන්ත පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 364 ක් රැස් කළේය. නවසීලන්ත පිතිකරුවෝ නායක ලසිත් මාලිංග යැවූ ඕවර දහයට ලකුණු 93 ක් රැස්කිරීම කැපී පෙනුණි. එහිදී මාලිංගට එරෙහිව හයේ පහර හයක් ලකුණු පුවරුවේ සටහන් විය.
මාලිංගට පළමු ඕවර හතර සහ පහ පාලනයකින් යැවීමට හැකි වුවද ඉනිමේ අවසන් ඕවර කීපයේදී පාලනයට නතු කරගැනීමට නොහැකි බව එම තරගයේදී ද ප‍්‍රදර්ශනය විය. තිසර පෙරේරා තෙවැනි තරගයේදී පන්දු 63 කින් ලකුණු 80 ක් රැස්කරමින් ලකුණු අතරට පැමිණීම විස්සයි20 තරගය පිළිබඳව හෝ බලාපොරොත්තුවක් ඉතිරි කළේය. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ද පරණ සෙල්ලම ආරම්භ කර තිබේ. පළමු තරග දෙකේදී අවස්ථාව නොලැබූ දසුන් ශානක අංක පහ ස්ථානයට මෙම තරගයේදී රැගෙන ආවේය. දසුන් එහිදී ලකුණු දෙකක් පමණක් රැස්කිරීමෙන් අසාර්ථක විය.
පළමු තරග දෙකට ක‍්‍රීඩා කළ අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න ඉවත්කරමින් අවසන් එක්දින තරගයට ධනංජය ද සිල්වා සහ දුෂ්මන්ත චමීර කැඳවා තිබුණි. එම කැඳවීමත් සමඟ නිත්‍ය පිතිකරුවන් හයදෙනකු, පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු සහ පන්දු යවන්නන් සිවුදෙනකු සමඟ ශ්‍රී ලංකාවේ හැඩයේ කණ්ඩායමක් නිර්මාණය වී තිබුණි.
ධනුෂ්ක ගුණතිලක එම තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් අංක 7 ට තල්ලුකර ධනංජය ද සිල්වාට ආරම්භක පිතිකරු ස්ථානය ලබාදී තිබුණි. මෙම තේරීම් කමිටුවත් ක‍්‍රීඩකයන් දාම් ලෑල්ලට ගෙන එන්නේ නම් ලෝක කුසලාන තරගාවලියේදී ද අත්හදාබැලීම් කිරීමට සිදුවනු ඇත. තවුරංගාහිදී පැවැති දෙවැනි තරගයේදී ද ශ්‍රී ලංකා පිල ලකුණු 320 ඉලක්කය හඹායමින් ලකුණු 298 ක් රැස්කිරීමට සමත් විය.
එහිදී තිසර පෙරේරා හුදකළා සටනක නිරත වෙමින් රැස්කළ වාර්තාගත ලකුණු 140 කැපී පෙනුණි. එහිදී තිසර ඉතිරි වූ පන්දු 21 කට ද ක‍්‍රීඩා කළේ නම් ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කරනවාට සැක නැත. තිසර පන්දු 74 කින් රැස්කළ මෙම ලකුණු 140 ශ්‍රී ලංකා පිතිකරුවකු නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී එක්දින ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
මෙහිදී තිසරගේ පිත්තෙන් හතරේ පහර අටක් සහ හයේ පහර 13 ක් ඇතුළත් වූ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වේ. එහිදී තිසර වසර 22 ක් පැරණි වාර්තාව බිඳ හෙළීය.
සනත් ජයසූරිය 1996 වසරේ සිංගප්පූරුවේදී පාකිස්තානයට එරෙහිව හයේ පහර 11 ක් ගසමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය.
මෙහිදී ද පළමු තරගයේදී මෙන්ම තිසර පෙරේරාට සහයෝගයක් දැක්වීමට පිතිකරුවකු ඉතිරි නොවීය. පළමු තරගයේදී කුසල් පෙරේරා ශතකයක් රැස්කළ ද අනෙක් අන්තයේ කඩුලු පෙරහැර ක‍්‍රියාත්මක විය.
මෙම තරගයේදී විශේෂයෙන්ම මැද පෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තරග දෙකේදීම සිය වගකීම ඉටු කළේය. ධනුෂ්ක දෙවැනි තරගයේදී ද පන්දු 73 කින් ලකුණු 71 ක් රැස් කළේය. කුසල් පෙරේරා ලකුණු 4 කට දැවී යෑමට දැඩි පාඩුවක් බවට පත්විය. ශ්‍රී ලංකා පිල එක අවස්ථාවකදී ඕවර 22 කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 112 ක් ලබා ලකුණු 5.09 ක වේගයක් පවතාගෙන සිටියේය. එසේ වුවද මැද පෙළ පිතිකරුවෝ ග‍්‍රහණය ආරක්‍ෂාකරගැනීමට අපොහොසත් වූහ.
කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ අසේල ගුණරත්න අසාර්ථක වීම පරාජයට පාර කැපීය. මෙම තිදෙනාගෙන් කෙනෙකු කඩුල්ල රැකගැනීමට සමත් වූයේ නම් තිසරට ජයග‍්‍රහණයට යෑමට අවස්ථාව තිබුණි.
දසුන් ශානක පසුගිය වසරක පමණ කාලය තුළ රැස් කළ ලකුණුවලට තේරීම් කමිටුව ගෞරවයක් නොදැක්වීය. ඒ පිළිබඳව තේරීම් කමිටුව ශ්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලීන්ට කරුණු පැහැදිළි කළ යුතුය. දසුන් කැපීම ද ක‍්‍රීඩක අර්බුදයක් වීමට ද ඉඩ තිබේ. මෙම සටහන තබන මොහොත වන විට ‘අශ්වයා පැන ගොස් අවසන්ය’ ඒ නිසා ස්තාලය වැසීමෙන් පළක් නැත. ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිල නවසීලන්ත බලා පිටත්ව යන විට නිලධාරීන් පිළිබඳව ගැටලු පැවැති අතර මේ වන විට ක‍්‍රීඩකයන් අතර ගැටුම් ද කරළියට පැමිණ තිබේ.
ක‍්‍රීඩකයන් අතර මෙවැනි ගැටුම් තිබියදී ජයග‍්‍රහණ ලැබිය හැකිද යන්න දැවැන්ත ගැටලුවකි. මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ද මෙවැනි තත්ත්වයක් පැවතුණි. ඇතැම් උඩ පන්දු ගිලිහීම් පිළිබඳව දැඩි සැක මතුවූ අතර එක තරගයේදී උඩ පන්දු දහය දොළහ ගිලිහී ගොස් තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ‘බොරදියේ මාළු බාන’ නිලධාරීන් ද නැතුවා නොවේ. ක‍්‍රීඩකයන්ගේ කරපිටින් එසේ නොවුණහොත් බෙල්ලෙන් හෝ මිලියන ගණනක වැටුප ආරක්‍ෂාකරගැනීම ඇතැමුන්ගේ එකම උත්සහය බවට පත්ව තිබේ.
ඔවුන්ගේ සේවය මිලියන ගණනක් වටින්නේ ද යන්න ප‍්‍රශ්නයකි.
සටහන: යොහාන් භාසුර