ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ වන විට ඕස්ට්‍රේලියාවේදී පුහුණුවීම් ආරම්භ කර තිබේ.
එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවට සිය උපරිම අවධානය යොමු කර තිබේද යන්න සමාජ මාධ්‍ය ජාලවලට ඇතැම් පළකිරීම්වලින් සැක මතු වෙයි.
සමාජ මාධ්‍ය ජාල මුදලාලි කෙනකු යැයි කියන පුද්ගලයකු පසුගියදා පවසා තිබුණේ තමන් සමාජ මාධ්‍ය හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ඇති බවයි.
තවද ඔහු පවසා තිබුණේ තිසර පෙරේරාගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ සමාජ මාධ්‍ය ජාල තමන් විසින් මෙහෙයවනු ලබන බවයි.
මෙම ප්‍රකාශයට ටෙස්ට් පිලේ නායකයා වන චන්දිමාල් පිළිතුරු සපයා තිබුණි. බංග්ලාදේශ ප්‍රීමිර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින තිසර පෙරේරා ද පිළිතුරු පළකිරීමට ඉදිරිපත් වී සිටී.
හිටපු ප්‍රබල ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද සමාජ මාධ්‍ය හරහා එම ප්‍රකාශයට පිළිතුරු සපයා තිබූ බව ද වාර්තා වේ. එම දෙපළ ක්‍රීඩාවෙන් සමුගෙන සිටින නිසා සමාජ මාධ්‍ය ජාල මුදලාලිලාට හෝ වෙනත් ඕනෑම කෙනකුට පිළිතුරු දුන්න ද එහි වරදක් නැත.
තවද ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියාව තුළ විවිධ විනෝද චාරිකා අවස්ථා සහ භෝජන සංග්‍රහ අවස්ථා සමාජ මාධ්‍ය ජාලයට අඛණ්ඩව මුදා හරිමින් සිටියි. ලසිත් මාලිංග සහ තිසර පෙරේරා යුගළයේ බිරින්දෑවරුන් අතර ඇති වූ සමාජ මාධ්‍ය ගැටලුව අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට පමණක් අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන්නේය. එම උපදෙස් ක්‍රීඩකයන් තඹ දෙයිතුවකට මායිම් නොකරන බවක් දිස්වේ.
ඔස්ට්‍රේලියානු පිල ඉන්දියාව හමුවේ ලැබූ ඉතිහාසගත පරාජය අමතක කරගැනීමට මෙම ටෙස්ට් තරග දෙක අවස්ථාවක් කරගන්නවාට සැක නැත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද වඩාත් ශක්තිමත් විය යුතුය. ඔස්ට්‍රේලියාවේ පරිසරය සහ තණතීරු පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබාගත යුතුය.
I සටහන: යොහාන් භාසුර