දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබන තුන්වැනි දින ආරම්භ වන තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයට තරුණ ක‍්‍රීඩකයන් කීපදෙනකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමකට ලක්ව සිටි පිට දඟපන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය නැවත පන්දු යැවීමට පසුගිය සඳුදා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් අවසර ලැබී තිබුණි. ඒ අනුව අකිල ද දකුණු අප‍්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වෙයි.
අවිෂ්ක ප‍්‍රනාන්දු, ඕෂද ප‍්‍රනාන්දු, ප‍්‍රියමාල් පෙරේරා වැනි තරුණ ක‍්‍රීඩකයෝ මෙම එක්දින සංචිතයට ඇතුළත්ව සිටිති. ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු පැවසුවේ තරුණ සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ සංයෝගයක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීම තම අරමුණ බවයි.
“මේ වසරේ ලෝක කුසලානයට යනවාත් එක්කම අපි ඊළඟ ලෝක කුසලානයට පොඩි සෙට් එකක් හදන්න ඕනේ. ඔය සෙට් එක තමයි 2023 ලෝක කුසලානයට යන්න ඕනේ. ඒ කණ්ඩායමේ දික්වැල්ල ඉන්නවා. සදීර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රියමාල් පෙරේරා වගේ ක‍්‍රීඩකයෝ ඉන්නවා.”
“2023 ලෝක කුසලානය ගහන්නේ ඉන්දියාවේ. ඒ වනවිට ඔය පොඩි සෙට්එකේ ගොඩක් අයට පන්දු යවන්න පුළුවන්. කමිඳු මෙන්ඩිස් හොඳට පන්දු යවනවා. හොඳට පන්දුවට පහරත් දෙනවා.”
“අපේ ඉලක්කය තියෙන්නේ දැන් ඉන්න ක‍්‍රීඩකයෝ හයක් විතර ඊළඟ ලෝක කුසලානයටත් ගෙනියන්නයි. පොඩි සෙට් එකයි, ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයොයි මිශ‍්‍ර කිරීම තමයි අපේ සැලැස්ම.”
ශ්‍රී ලංකා පිලේ අවසන් එක්දින තරගාවලිය වූ නවසීලන්තයට එරෙහිව සංචිතයට සහභාගි වූ ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, සීක්කුගේ ප‍්‍රසන්න, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, ළහිරු කුමාර සහ සදීර සමරවික‍්‍රම මෙම සංචිතයට ඇතුළත්ව නැත. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙහිදී ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු උපුල් තරංග නැවතත් සංචිතයට කැඳවා තිබේ. තවද වමතින් වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරැ උදාන මෙම සංචාරයට ඇතුළත්ව සිටියි. දෑතින් පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද එක්දින තරගාවලියට කැඳවා සිටියි.
දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ද මෙම සංචාරයට සහභාගි කරවීමට තේරීම් කමිටුව අදහස් කර තිබුණද පසුව එම තීරණය හකුලා ගැනීමට සිදුවිය.
ශ‍්‍රී ලංකා එක්දින සංචිතය:
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිෂ්ක ප‍්‍රනාන්දු, උපුල් තරංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂද ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්‍ෂාන් සඳකැන්
I සටහන: යොහාන් භාසුර