2016 අගෝස්තු 02 වන අඟහරුවාදා

...

 2016 අගෝස්තු 02 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 51

ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී) විශිෂ්ටයන්ගේ නාමලේඛනයට ඇතුළත් කිරීමට එම සභාව තීරණය කළ බව පසුගිය බදාදා නිවේදනය කළේය. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විශිෂ්ටයන්ගේ නාමලේඛනයට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වේ. 
අයි.සී.සී. විශිෂ්ටයන්ගේ නාමලේඛනයට මුත්තයියා මුරලිදරන්, එංගලන්ත හිටපු වේග පන්දු යවන්නකු වන ජොර්ජ් ලොත්මන්,  ඕස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරැවකු වන ආතර් මොරිස් සහ  ඕස්ට්‍රේලියානු කාන්තා ක‍්‍රිකට් පිලේ හිටපු නායිකා කරේන් රොල්ටන් යන සිව්දෙනා මෙවර ඇතුළත් කර තිබේ. 
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී) විශිෂ්ටයන්ගේ නාමලේඛනයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 84 දෙනකු ඇතුළත්ව සිටින අතර මුරලිදරන් එයට ඇතුළත් වූ 81 වැනි සාමාජිකයා වේ. 
මුත්තයියා මුරලිදරන් 1992 වසරේ සිට 2010 වසර දක්වා වසර 18කදී ටෙස්ට් තරග 133 කට ක‍්‍රීඩා කරමින් කඩුලු 800ක් දවා ගනිමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. මුරලිදරන් එක්දින ජාත්‍යන්තර තරග 350 කදී කඩුලු 534ක් දවා ගනිමින් එහිදී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින අතර අන්තර්ජාතික කඩුලු 1000ක් දවාගත් ලොව පළමු ක‍්‍රීඩකයාද වේ.