ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඕස්ට්‍ර්ලියාවට එරෙහිව පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2x1 කින් ජය ලැබීම අපේ ක‍්‍රිකට් අනාගතයට හොඳ පෙර නිමිත්තක් බවට පත්කර ගැනීමට ක‍්‍රිකට් බලධාරීන්ගේ වගකීම බවට පත්විය යුතුය. එසේ නොමැතිව ක‍්‍රිකට් ලොක්කන් විස්සයි20 තරග දෙකේ ජයග‍්‍රහණය කර පිට තබාගෙන සුපුරුදු පරිදි දිලිසෙන්නට උත්සාහ කරන්නේ නම් ඉන් ක‍්‍රීඩාවට වන යහපතක් නොමැත. එය ඇතැමුන්ගේ පැවැත්මට කටගැස්මක් පමණක් වේ.
ඕස්ට්‍රේලියාවේදි තරුණ මෙන්ම නවක ක‍්‍රීඩකයන් දැක්වූ දස්කම් මෙහිදී වඩාත් ඉස්මතු විය. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ලෙස කණ්ඩායම් තුනක් පවත්වා ගෙන යෑම පිළිබඳව අවධානය යොමු කිරීමට මෙය හොඳ අවස්ථාවකි.
මෙම තරගාවලියට ඕස්ට්‍රේලියාවේද තරුණ කණ්ඩායමක් සහභාගි වූවද එම කණ්ඩායමට අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටියහ. ඒ අනුව බලන විට මෙම කණ්ඩායම් දෙක වඩාත් සමාන යැයි කිවහැකිය.
ශ්‍රී ලංකා පිල පළමු තරග දෙකේදී ඕස්ට්‍රේලියාවට රිදෙන්න දුන් බව සාමාන්‍ය ජනතාව පවා පවසති. මෙම තරග දෙකේදීම ශ්‍රී ලංකාව අවසන් පන්දුවේදී ජය ලැබීම කැපී පෙනුණි. එහිදී ශ්‍රී ලංකා තරුණයෝ සටන්කාමී බව ප‍්‍රදර්ශනය කළහ.
ශ්‍රී ලංකා යුද හමුදා පිලෙන් ජාතික කණ්ඩායමට පැමිණි අසේල ගුණරත්න, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ වෙසෙන ක‍්‍රිකට් ලෝලීන්ගේ වීරයා බවට පසුගිය සතිය වන විට පත්ව සිටියේය.
අසේල ගුණරත්න පළමු තරගයේදී පන්දු 37කින් ලකුණු 52ක් ද, දෙවැනි තරගයේදී පන්දු 46 කින් නොදැවී ලකුණු 84ක් ද, රැස්කරමින් ගමේ භාෂාවෙන් කියනවා නම් එක රැයින් ජනප‍්‍රිය විය.
අසේල දෙවැනි තරගයේදී රැස් කළ ලකුණු 84 බොහෝ දෙනකුගේ මතකයේ රැඳුණි. එම ඉනිමත් සමඟ අසේලට අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවිය. එහිදී මුම්බායි ඉන්දියන්ස් පිල ඉන්දීය රුපියල් ලක්‍ෂ 30ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 70කට ආසන්න මුදලකට අසේල මිලදී ගත්තේය.
මෙම තරගාවලියේදී ලසිත් මාලිංගගේ නැවත පැමිණීම ද අමතක කළ නොහැකිය. ඔහු වසරකට පසුව පන්දුව අතට ගනිමින් සුපුරුදු ලෙස පන්දු යවමින් තරග තුනේදී කඩුලු 6ක් දවා ගත්තේය.
මෙම තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධන දැක්වූ දස්කම් අමතක කළ නොහැකිය.
නිරෝෂන් දික්වැල්ල පසුගිය මාස කීපයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග රැසකදී සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වූ අතර ඔහුට තරග තහනමක් පැනවීම නිසා ඇඩිලේඩ්හිදී පැවැති අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය.
දික්වැල්ල එම තරගයට සහභාගි වූයේ නම් පරාජය මීට වඩා තුනී කර ගැනීමේ අවස්ථාව තිබුණි.
මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී තරගාවලියකට සහභාගි වීමට නියමිතය. එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.
බංග්ලාදේශ පිල පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ ලොකු නම් ඇති රටවල්වලට තැලූ බව අමතක නොකළ යුතුය. ඉන්දියාවේදී පසුගිය වසර මුල පැවැති විස්සයි20 තරගාවලියේදී දස්කම් දක්වමින් අවසන් මොහොතේ ලැබූ අනපේක්‍ෂිත පරාජයත් සමඟ බංග්ලාදේශ පිල තරමක් පසු පසට තල්ලූ විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලාධාරීන්ට දැන් වගකීම බාරව තිබේ. එය බාල් නැටුමක් කර නොගනු ඇති බවට විශ්වාසය පළ කරමු.
♦ සටහන: යොහාන් භාසුර