2019 ජුනි 01 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව පීඩනයට යට වෙයිද? ගොඩ යයිද?

2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:3095

ශ‍්‍රී ලංකා පිල ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සහභාගි වන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ඊයේ (01) පැවැත්වීමට නියමිතව තිබුණි. මෙවැනි තරගාවලියක පළමු තරගයේ ජයග‍්‍රහණ ඕනෑම කණ්ඩායමකට සාර්ථකව ඉදිරියට යෑමට දැවැන්ත ශක්තියක් එන්නත් කරයි.

නවසීලන්ත පිල යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ඇතැයි කියවෙන නම් අතරින් එකකි. ශ්‍රී ලංකා පිල මෙම වසරේ ජනවාරි මස නවසීලන්තයට එරෙහිව සහභාගි වූ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3x0 කින් පරාජයට පත්ව සිටීම ද පීඩනයක් බවට පත්වනවාට සැක නැත.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලට නවසීලන්තයට එරෙහිව පළමු තරගය විශාල අභියෝගයක් වනු ඇත. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය අලුත්ම එකක් වීම නිසා නව ජවයකින් නවසීලන්තයට එරෙහිව තරග කිරීමට උත්තේජකයන් වීමට ඉඩ නැතුවා නොවේ.

ශ්‍රී ලංකා පිල ලබන අඟහරුවාදා (04 වැනිදා) ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගාවලියේ දෙවැනි තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. මීට වසර දෙකකට තුනකට පෙර නම් ඇෆ්ගනිස්ථානය කියූ පමණින් ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ලබන තරගයක් යැයි පැවසීමේ අවස්ථාව තිබුණි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වීමෙන් තරගාවලියේ පළමු වටයෙන් ඉවතට විසිවිය. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින සංචිතයේ ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් එම තරගයට ඇතුළත්ව සිටීම නිසා ආසියානු කුසලාන තරගය ආදර්ශයට ගෙන තරග කිරීමේ අවස්ථාව තිබේ.

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන පුහුණු තරගයේදී පාකිස්ථානය පරාජය කරමින් මේ වන විට තව දුරටත් ශක්තිමත් වී සිටියි.

ශ්‍රී ලංකා පිල පසුගිය සතියේ සහභාගි වූ පුහුණු තරග දෙකේදී දකුණු අප‍්‍රිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වුවද පිතිකරු අංශයෙන් යම් දියුණුවක් ප‍්‍රදර්ශනය කළේය.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු 87 එහිදී කැපී පෙනුණි. 2015 පසුව තමන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නැතත් දේශීය එක්දින තරගාවලිවලට සහභාගි වීමෙන් එක්දින තරග සඳහා රිදීමය ඇති බව දිමුත් පැවසූ අතර දකුණු අප‍්‍රිකාවට එරෙහිව එම ඉනිමේදී දිමුත් එම හැකියාව ප‍්‍රදර්ශනය කළේය.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලකුණු අතරට පැමිණියේය. ලෝක කුසලාන තරගාවලිය තුළ මැතිව්ස්, ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන තුරුම්පුවක් බව අමතක නොකළ යුතුය. ඒ හේතුවෙන් ඔහුව ආරක්‍ෂා කරගැනීම විශේෂ වගකීමකි.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව පුහුණු තරගයේදී ආරම්භක පිතිකරැවන් ලෙස කුසල් පෙරේරා සහ දිමුත් ද, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පුහුණු තරගයේදී ළහිරු තිරිමාන්න සහ දිමුත් ද, ආරම්භක පිතිකරුවෝ ලෙස කටයුතු කළහ.

කුසල් අසාර්ථක වෙමින් ලකුණු නොලබා දැවී ගිය අතර ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ළහිරු තිරිමාන්න ලකුණු 56ක් රැස් කළේය. ඒ අනුව නවසීලන්තයට එරෙහිව තරගයේදී ආරම්භක පිතිකරුවන් යුගළ කවුරුන් ද යන්න ගැටලුවක් බවට පත්ව තිබේ. කුසල් පෙරේරා යනු මෙම ලෝක කුසලාන සංචිතයේ වඩාත් වැදගත් චරිතයකි. කෙසේ වෙතත් කුසල් පිතිකරුවකු ලෙස හෝ කඩුලු රකින්නා ලෙස හෝ සුපුරුදු රිද්මයට පැමිණ නැති බව පුහුණු තරගවලදී ප‍්‍රදර්ශනය විය.

ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා වන තිසර පෙරේරා පුහුණු තරගවලදී දස්කම් අතර ඒමට අපොහොසත් වීම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. තිසර යනු වෙඩි වරුසාවක් වැනි පිතිහරඹයක් ඕනෑම වෙලාවක ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රීඩකයකු වීම නිසා බලාපොරොත්තු තබාගත යුතුය.

ලසිත් මාලිංග දෙවැනි පුහුණු තරගයට පෙර සංචිතයට එකතු වුවද තරගයට සහභාගි නොවීය. කෙසේ වෙතත් ඔහු නවසීලන්තයට එරෙහිව තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකා පිලට නැතිවීමට දෙයක් නොමැත. උපයා ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ. එයින් උපරිම ප‍්‍රයෝජනය ගන්නේ ද යන්න බලාසිටීම පමණක් අපට ඉතිරිව තිබේ. 

 යොහාන් භාසුර