2017 මාර්තු 11 වන සෙනසුරාදා

කුසල්ගේ මනරම් ඉනිම

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුව වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගයේ වාසිය තමන් සතු කර ගැනීමට සමත්ව සිටියහ.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 312 කට සීමා කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 182ක වාසියක් ලබා ගත්තේය. 

බංග්ලාදේශ පිල තරගාවලිය ආරම්භ කිරීමට කළ අභියෝගය සේම පළමු ඉනිමේදී සටන්කාමීව පන්දුවට පහර දෙමින් පිට පිටම දෙවැනි වරට පන්දුවට පහරදීමෙන් වැළකීම කැපී පෙනුණි. 
ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් කඩුලු 3 බැගින් දවාගත්තද බංග්ලාදේශ පිතිකරුවන් මර්දනය කිරීමට අසමත් වූහ.

යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක ළහිරු කුමාර, බංග්ලාදේශ පිතිකරුවන්ට හොඳ තර්ජනයක් වූ බව දැකගත හැකි වූ අතර එය ශ්‍රී ලංකාව පැත්තෙන සුබදායක විය හැකිය.    
කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුව යැයි නැවතත් ප‍්‍රදර්ශනය කරමින් පළමු දිනයේදීම වැඩ ඇරඹීය. කුසල් පළමු ඉනිමේදී අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 196 ක් රුස් කිරීමට සමත් විය.
කුසල් හයේ පහරකින් ද්විත්ව ශතකය රැස්කිරීමට කළ අසංවර උත්සාහය තමීම් ඉක්බාල් හතරේ සීමාවේ මෙපිටට ද ගොස් රුකගත් අති විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් ව්‍යාර්ථ විය.  
දකුණු අප‍්‍රිකානු සංචාරයේ අවසානය වන විට කුසල් තේරීම් කමිටුවේ කතුර අසලට පැමිණ සිටිය ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මොකක්දෝ වාසනාවකට තේරීම් කමිටුවේ ඇත්තන්ට බුද්ධිය පහළ වූහ.
කුසල් පහර දුන් පළමු පන්දුවට ගැසූ අනවශ්‍ය පහර ලිටන් දාස් උඩ පන්දුවක් ලෙස රැකගැනීමෙන් කුසල්ගේ ඉනිම පළමු පන්දුවෙන්ම අවසන් වීමට ගියද පන්දු යැවූ සුබසිෂ් රෝයිගේ පාදය සීමා ඉරෙන් එපිට පතිත වී තිබීමෙන් මෙම දැවැන්ත ඉනිමට යෑමේ වාසනාව හිමිවිය. 

කුසල් එම අවස්ථාවෙන් මනා ප‍්‍රයෝජනයක් ගනිමින් පළමු දිනය පුරා වඩාත් ඉවසිලිවන්තව ලකුණු රැස්කළේය. එහිදී බංග්ලාදේශ පන්දු යවන්නන් දුර්වල පන්දුවක් යැවුවහොත් කුසල්ගෙන් ගැලවීමක් නොලැබුණි.  
22 හැවිරිදි කුසල් මෙම ඉනිමේ 149 වැනි ලකුණත් සමඟ ටෙස්ට් ලකුණු 1000 ක් රුස්කළ පිතිකරුවන්ගේ සමාජයට එකතු විය. 

අසේල ගුණරත්න පළමු ඉනිමේදී ලකුණු 85 ක් රැස්කරමින් මැඳ පෙළ පවුරක් බවට පත්විය. අසේල ගුණරත්නගේ තෙවැනි ටෙස්ට් තරගය මෙය වන අතර, ඔහු මේ වන විට ශතකයක් සහ අර්ධ ශතක දෙකක් රැස්කර තිබේ. 
කුසල් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න සිව්වැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 196 ක සම්බන්ධතාව නොවන්නට ඇතැම් විට බංග්ලාදේශයට ළගාවිය හැකි ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා පළමු ඉනිම සීමාවීමට ඉඩ තිබුණි.
ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් කඩුලු විසිකර දැමීම හේතුවෙන් ලකුණු 494 කට සීමා වීමට සිදුවිය. 

ඩිල්රුවන් පෙරේරා පසුපෙළ පිතිකරැවන් අතරින් සාර්ථක වෙමින් ලකුණු 51 ක් රැස් නොකරන්නට පීඩනය වැඩි වීමටද ඉඩ තිබුණි.  
කෞෂාල් සිල්වා සංචිතයෙන් ද ඉවත් කරමින් ආරම්භක පිතිකරු ස්ථානය උපුල් තරංගට පිරිනමා තිබූ අතර, තරංග ලකුණු 4 කට දැවී ගියේය. තරංග ටෙස්ට් ක‍්‍රීඩා කරවීම පිළිබඳව මීට වඩා සාකච්ඡා කර ගත යුතු තීරණයකි. 
ශ්‍රී ලංකාව රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන් යන දඟපන්දු යවන්නා තිදෙනා සමඟ මෙම තරගයට පිවිස තිබේ.
තෙවැනි දිනයේ තේ පානය වන විට වර්ෂාව ඇඳ හැලිමෙන් තරගය අත්හිටුවීමට සිදුවීම ඇතැම් විට බංග්ලාදේශ පිලට වාසියක් වීමට ඉඩ තිබේ. 
බංග්ලාදේශය මෙම තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට සමත්වුවහොත් එය සැබැවින්ම බංග්ලාදේශය ලබන ජයග‍්‍රහණයකි.   

  සටහන: යොහාන් භාසුර