2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

තරග පාවා දීමට, දූෂණයට, ඔට්ටු ඇල්ලීමට මිලියන 100ක දඩ - වසර 10ක් හිරේ!

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කළ පළමු ආසියානු රට බවට පත්වෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ‘ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ’ පනත පසුගිය සතියේ නීතියක් බවට පත්විය. අග්‍රාමාත්‍යවරයා විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව පැය කීපයකට කැඳවා මෙම පනත සම්මත කිරීම මෙහිදී වඩාත් කැපී පෙනෙන තත්ත්වය බවට පත්විය. 

මෙම පනත සම්මත වීමත් සමඟ ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව අධිකරණයේ නඩු පැවරීමේ බලය හිමිවූ අතර ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීමට නව පොලිස් ඒකකයක් පිහිටුවීම ද අනාගතයේ දැකිය හැකිය. මෙම පනතට අනුව ප්‍රධාන වැරදි පහකට (05) වැරදිකරු වුවහොත් රුපියල් මිලියන 100 ක දඩයක් හෝ වසර 10 ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමේ බලය අධිකරණයට තිබේ. 

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනතේ අරමුණ ‘ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහාද, වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි’ ලෙස සඳහන්ව තිබේ.

මෙම පනතින් “යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් හා සම්බන්ධ නිලධරයකු, තේරීම්කරුවකු, ක්‍රීඩා කළමනාකරුවකු, කමිටු සාමාජිකයකු, ක්‍රීඩා පුහුණුකරුවකු පුහුණු කරන්නකු, සම්භාහකයකු, භෞත චිකිත්සකයකු, වෛද්‍ය නිලධරයකු, පරිපූරක වෛද්‍ය සේවකයකු, විනිසුරුවකු, තරග විනිශ්චයකරුවකු, තරග තීරකවරයකු-, ක්‍රීඩාංගණ භාරකරුවකු, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයකු හෝ ක්‍රීඩාපිටි කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩා හවුල්කරුවකු සහ අනුග්‍රාහකයකු වන යම් තැනැත්තකු” ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් ලෙස සලකයි.

“4 වැනි, 5 වැනි, 6 වැනි, 7 වැනි හෝ 8 වැනි වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති වරදක් සිදුකරන යම් තැනැත්තකු වරදකරු කරනු ලැබීමේදී, රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය” 

“16 වැනි හෝ 18 වැනි වගන්තියේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීම පැහැර හරින යම් තැනැත්තකු හෝ යම් ක්‍රියාවකට සම්බන්ධ තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදුකරන අතර මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේදී රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය” ලෙස ක්‍රීඩාවට සම්බන්ධ වැරදි සැඟවීමේ වරදට දඬුවම් මෙම පනතේ 10 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. මෙම පනතේ පළමු පරිච්ඡේදය “ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන වැරදි” ලෙස වේ. 

එහි 4. (1)(අ) යම් තැනැත්තකු විසින් හෝ යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තකු විසින් - (I) තමාට හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය හෝ වෙනත් යම් වාසියක් සිදුවන හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය අවාසියක් හෝ පාඩුවක් සිදුවන යම් ඔට්ටු ඇල්ලීමක, සූදු ක්‍රීඩාවක හෝ වෙනත් යම් ක්‍රියාකාරකමක නිතර වීමේ හේතුවෙන් යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් දූෂිත වන බව දනිමින් ඒ ඔට්ටු ඇල්ලීමෙහි, සූදු ක්‍රීඩාවෙහි හෝ ඒ ක්‍රියාකාරකමෙහි නිරත වන්නා වූ. 
එම 4 වැනි පරිච්ඡේදය අ, ඇ, ඈ සහ ඉ යන පරිච්ඡේද හතරකින් සමන්විත වන අතර ඒවායේ අනු පරිච්ඡේද රැසක් ඇතුළත් වේ. එහි 5 වැනි වගන්තිය “යම් ක්‍රීඩාවක හෝ ක්‍රීඩා ඉසව්වක ප්‍රතිඵලයට, ප්‍රගතියට, පැවැත්මට හෝ වෙනත් යම් අංගයකට පලපෑම් කිරීම සඳහා” ලෙස අ, ආ සහ ඇ. යන පරිච්ඡේද තුනකින් සමන්විත වේ. 

“යම් ක්‍රීඩාවක හෝ ක්‍රීඩා ඉසව්වක ප්‍රතිඵලයට, ප්‍රගතියට, පැවැත්මට හෝ වෙනත් යම් අංගයකට අනිසි ලෙස, අසාධාරණ ලෙස හෝ වංක ලෙස බලපෑම් කරන යම් තැනැත්තකු හෝ යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තකු ක්‍රීඩාවල නීති විරෝධී මෙහෙයවීම යන වරද සිදු කරන්නේය” ලෙස 6 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. 

එම පනතේ 7 වැනි පරිච්ඡේදය “යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් හා සම්බන්ධ යම් තොරතුරක් අභ්‍යන්තර තොරතුරක් බව හෝ නීති විරෝධී දූෂිත චර්යාවක් පිළිබඳ තොරතුරක් බව දැනුම සහිතව ඒ තොරතුරැ සන්තකව සිටිමින් - (අ) ඒ ක්‍රීඩාවට හෝ ක්‍රීඩා ඉසව්ව පිළිබඳව ඔට්ටු අල්ලන ලෙස (ආ) සහ (ඇ) ලෙස පරිච්ඡේද දෙකකින් ද සමන්විත වේ. 

එහි 8. (අ) 4 වන, 5 වන, 6 වන හෝ 7 වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති යම් වරදක් සිදු කිරීමට ආධාර දෙන, අනුබල දෙන, තැත්කරන හෝ කුමන්ත්‍රණය කරන හෝ (ආ) 4 වන, 5 වන, 6 වන හෝ 7 වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති යම් වරදක් සිදු කිරීමට යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තකු වෙත ප්‍රවේශවන, පොළඔවන, බලපෑම් කරන හෝ ඒ තැනැත්තකුට හැකියාව ඇති කරන හෝ පහසුකම් සළසන” යැයි සඳහන් වේ.

“මේ පනත යටතේ යම් තැනැත්තකු විසින් සිදුකරන ලද යම් වරදක් අනාවරණය කරගැනීමටද ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමටද ඉවහල් වන තොරතුරු සපයන තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීමේ කාර්යය සඳහා ලේකම්වරයාගේ පාලනය සහ පරිපාලනය යටතේ ත්‍යාග අරමුදලක් පිහිටුවනු ලැබිය යුතුය. ඒකකයේ සාමාජිකයන් ත්‍යාග අරමුදලෙන් යම් ත්‍යාගයක් සඳහා හිමිකම් නොලැබීය යුතුය” ලෙස 34 වැනි ඡේදයේ (1) අනු වගන්තියේ සඳහන් වේ. 

එහිදී ත්‍යාග මුදල තීරණය කිරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට පනතින් පවරා තිබේ. පරිච්ඡේද 41 කින් යුත් මෙහි අවසන් පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. 

“මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය”

ක්‍රීඩා අමාත්‍යංශය විසින් පසුගිය කාලයේ ඉදිරිපත් කළ ක්‍රීඩා පනතේ සංශෝධනවල සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවල ලියවිලිවල පරිවර්තන දෝෂ දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් ඇතැම් ලියැවිලි නැවත සකස් කිරීමටද සිදුවිය.

යොහාන් භාසුර

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00