ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේ (2016) රුපියල් මිලියන 200 ලාභයක් ලැබූ බවට පැවසුවද එය කිසිදු වගවිභාගයකින් තොරව පිළිගැනීමට ශ්‍රී ලංකා ජනතාව සූදානම් නොමැති බව ක‍්‍රිකට් ලොක්කන්ට පැවසිය යුතුය. වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය තුළ සිදුවන දේවල් පිළිබඳව සළකා බැලීමේදී අනවශ්‍ය වියදම් කපාහැරීම නිසා පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් මිලියන 200ක ලාභයක් ලැබුවේ යැයි පැවසීම විහිළුවක් මිස අන් කිසිවක් නොවේ.
එය එසේ නම් වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය තවත් අනවශ්‍ය වියදම් කපා හරින්නේ නම් මෙම ලාභය තවත් මිලියන ගණනකින් වැඩි කරගත හැකිය.
ගිණුම්කරණ ඉගෙන ගන්නා ප‍්‍රාථමික ශිෂ්‍යයකුට ගිණුම්කරණ මූලධර්ම කියාදීම ගුරුවරයකුගේ පළමු කාර්යවේ. විශ්වාසනීය බව සහ පිළිගත හැකි බව එම මූලධර්මවලට ඇතුළත්ව තිබෙන ප‍්‍රධාන මූලධර්ම දෙකකි. ගිණුම්කරණ මූලධර්ම රැකගැනීමට ගිණුම්කරණයේදී ප‍්‍රතිපත්ති සහ සම්ප‍්‍රදායන් යොදා ගනී. මෙය ගිණුම්කරණ පාඩමක් වූයේ නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන්ට ඒ බව කියාදීමේ අවස්ථාව තිබුණි.
පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිකුත්කර ඇති මූල්‍ය වාර්තාව ස්වාධීන විගණනයක් නොකළ වාර්තාවකි. එවැනි වාර්තාවක් ප‍්‍රසිද්ධ කිරීම කොතරම් සාදාචාර සම්පන්නද යන්න සිහිබුද්ධියෙන් බැලිය යුතුය. මෙය ඇස්තමේන්තු කළ මුදලට සාපේක්‍ෂව සකස් කළ ගිණුම් වාර්තාවක් වන අතර ඕනෑම ආයතනයකට මෙවැනි ගිණුම් වාර්තා සකස් කිරීමේ බාධාවක් නොමැත. මෙවැනි ආයතනයක ගිණුම් වාර්තාවේ අනිවාර්යෙන් ඇතුළත්විය යුතු අතිරේක සටහන් කිසිවක් මෙහි සඳහන්ව නොමැත. තවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ ලාභ ලැබුවේ යැයි කියන මුදල් ප‍්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිණුම් කරන දිනට වත්කම් සහ වගකීම් ඇතුළත් ශේෂ පත‍්‍රය ඉදිරිපත් කළ යුතුය. වාර්ෂික ගිණුම් වාර්තාවේ අනිවාර්ය කොටසක් වන ශේෂ පත‍්‍රයක් මාධ්‍යයට ඉදිරිපත් කර නොමැත.
මෙම ගිණුම් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දේශිය ක‍්‍රිකට් සඳහා රුපියල් මිලියන 433 කට අධික මුදලක් (433,448,874) වැයකර ඇති බව සඳහන් වේ. එය එසේ නම් එම මුදල වියදම් වූ ආකාරය විශේෂ සටහනක් ලෙස මූල්‍ය වාර්තාවේ සඳහන් විය යුතුව තිබුණද එවැන්නක් සඳහන්ව නොමැත. එම ගිණුම් වාර්තාවේ සියලුම වියදම් එසේ වන අතර උදාහරණයක් ලෙස මානව සම්පත් සහ නීති කටයුතු ආදිය වෙනුවෙන් කළ වියදම් ලෙස රුපියල් මිලියන 613 කට අධික මුදලක් (613,759,199) වැය කර ඇති බව සඳහන් වේ.
මෙම වියදමට ක‍්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව ගෙවන මාසික දීමනාවද ඇතුළත්ව ඇතැයි උපකල්පනය කළ හැකි අතර නව ගිවිසුමට අනුව ක‍්‍රීඩකයන්ගේ ගෙවීම් අඩු කළ බව සමස්ත ලෝකයම දන්නා කරුණකි. එම වියදම් ශිර්ෂයේ සටහනක් ලබාදී තිබුණේ නම් වත්මන් පරිපාලනය තුළ නව සේවයන් බඳවා ගනිමින් සඳහා කොපමණ මුදලක් වැඩි වී ඇත්තේද යන්න විවෘත වේ.
මෙම ගිණුම් වාර්තාවට අනුව 2016 වසරේ වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 3081 කට අධික (3,081,127,010) වන අතර සැබෑ වියදම රුපියල් මිලියන 2422 කට අධික (2,422,796,168) මුදලකි.
මෙම ගිණුම් වාර්තාවේ තවත් කැපී පෙනෙන ආදායමක් පෙන්වා තිබේ. දේශීය ක‍්‍රිකට්, සංවර්ධන සහ මානව සම්පත් සම්බන්ධයෙන් 2016 වසරේ ආදායමක් ඇස්තමේන්තු කර නොමැති වුවද එම ශීර්ෂ තුනේදී රුපියල් මිලියන 30 කට ආසන්න ආදායමක් පෙන්වා තිබේ.
උදාහරණයක් ලෙස පුද්ගලයකුට සිය මාසික වියදම රුපියල් 30,000 ක් යැයි ඉහළ ඇස්තමේන්තුවක් ලබාගෙන සත්‍ය වියදම රුපියල් 20,000 ක් වූ විට රුපියල් 10,000 ක ලාභයක් තිබේ යැයි පැවසුවහොත් එහි සත්‍යතාව සහ විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් මතුවේ. එම පුද්ගලයාගේ රුපියල් 20,000 ක මුදල තුළ ඇති වියදම් පිළිබඳව වාර්තාවක් අවශ්‍ය වන බව ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් තේරැම් ගත හැකිය.
මෙම ගිණුම් වාර්තාව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණි.
අතීතයට බැණ වදිනවාට වඩා අනාගතයේ අපේක්‍ෂිත ඉලක්ක සඳහා කටයුතු කිරීම මගේ ඉලක්කයයි. 2016 වසරේ මූල්‍ය තත්ත්වයේ අඩුපාඩු හා ප‍්‍රතිව්‍යුහගත කිරීම් නුස්කි මොහොමඩ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මූල්‍ය කමිටුව ගැටලුකාරී තත්ත්වයකින් තොරව සාර්ථකව අවසන් කළා.
මෙහිදී ක‍්‍රිකට් සභාපතිවරයාට අමතක වී ඇති කරුණක් වන්නේ නුස්කි මොහොමඩ් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ධූරයේ වසර ගණනාවක් කටයුතු කළ බවත් ඔහුගේ කාලයේ සිටම ක‍්‍රිකට් ආයතනය දැවැන්ත මූල්‍යමය අගාධයකට වැටී සිටි බවත්ය.
එහිදී ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අගාධයකට වැටී තිබුණු සමයක එය නැවත මූල්‍යමය වශයෙන් ලැබූ ස්ථාවරය පිළිබඳව තමන් සතුටට පත්වන බවය. එය පසුගිය වසරේදී ක‍්‍රිකට් ආයතනයේ වූ විශේෂ ප‍්‍රගතියක් බවත්ය. මෙම ප‍්‍රකාශයෙන් වඩාත් පැහැදිළි වන්නේ අමාත්‍යවරයා ද හොඳ හැටි ඇඳ සිටින බව හෝ එසේ නැත්නම් සහාය දක්වන බවය. ‘දෙන්නට දෙන්නා පිට කසා ගැනීම’ යැයි කියමනක් ජනවහරයේ තිබේ. එය මෙම සිද්ධියට ගැලපෙන්නේ දැයි පාඨකයන් තීරණය කළ යුතුය.
යොහාන් භාසුර