2017 මාර්තු 25 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනයේ බොරු සද්ද ගොඩක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ දිනවල උණුසුම් වී ඇති බව වාර්තාවේ. එහි උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ආරංචිය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලාභ ලැබූ බවට මහ ඉහළින් ඉදිරිපත් කළ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මෙම උණුසුමට ප‍්‍රධාන සිද්ධීන් බවට පත්ව තිබේ.

ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව දැනුමැත්තන් පවසන්නේ ජයන්ත ධර්මදාස පාර්ශ්වය තනතුරුවලින් ඉවත්වීම දැන් ඵල නොමැති බවයි. ක‍්‍රිකට් ලොක්කකු සූක්‍ෂමව ‘ජයන්ත පාර්ශවය’ සතුව තිබූ ක‍්‍රීඩා සමාජද මේ වනවිට නතු කරගෙන සිටින බවයි.  දකුණු පළාතේ ක‍්‍රිකට් සංගමයක ප‍්‍රධාන තනතුරක් ක‍්‍රිකට් ලොක්කෙකුගේ සමීපයෙන්ම සිටින ගෝලයකුට ලබාදී ඇති බවද පසුගිය සතියේ වාර්තා විය. 

  ජයන්ත ධර්මදාස මහතා උප සභාපති තනතුරට පත්වී සති කීපයක් ගතවීමට ඉල්ලා අස්වීමට සූදානම් වුවද ඒ මහතා සමීපයේ සිටින්නේ යැයි කියන කෙනෙක් එයට ඉඩ නොදුන් බව වාර්තා වේ. ජයන්ත ධර්මදාස මහතා දැන් කළ යුත්තේ මාධ්‍ය හමුවක් පවත්වා සත්‍ය ප්‍රකාශ කර ඉල්ලා අස්වීමය.  

ක‍්‍රිකට් පරිපාලනයට මාධ්‍ය ඔස්සේ එල්ලවන චෝදනා පාලනයට ලොක්කෙක් විවිධ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය අංශය තව තවත් පුළුල් වන බව පසුගිය සතියේ වාර්තා විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවද නියෝජනය කරන්නේ යැයි කියන එස්.එස්.සී. ක‍්‍රිකට් කමිටුවේ සභාපති සමන්ත දොඩන්වල මහතා මාධ්‍ය ඒකකයේ උපදේශකයකු ලෙස පත්කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය. 
මීට පෙර මෙම තනතුරේ විධායක කමිටුවේ ප‍්‍රධාන තනතුරක් දරන චෝදනා එල්ල වී ඇති නිලධාරියකු කටයුතු කළද මාධ්‍ය හරහා ඔහුට වැඩි වැඩියෙන් චෝදනා එල්ල වෙමින් තිබුණි. මේ හේතුවෙන් දොඩන්වල මහතා එම තනතුරට පත්කිරීමට ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ. රුපියල් මිලියන ගණනක ලාභයක් ලැබුවේ යැයි මහා පිම්බීම පසුගිය සතිය පුරා මාධ්‍ය හරහා දැඩි විවේචනයට ලක්වූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම කිසිදු විවේචනයකට මේ දක්වා ප‍්‍රතිචාර දක්වා නොතිබුණි.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය ඒකකයේ දෙදෙනකු කළ සේවයට මේ වනවිට හත් දෙනකු පත්කර ඇති බවත් මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයේදී මාධ්‍ය වෙත ලැබෙන සේවය දුර්වල තත්ත්වයක පැවති බව වාර්තා වේ. තරග වාර්තා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට පෙර පරිදි අවශ්‍ය පහසුකම් නොලැබුණ ද පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියට ලැබෙන ආහාර ගැන සොයා බැලීමට විශේෂ එහෙයියෙක් පත්කර තිබූ බව වාර්තා වේ. 
නිවැරදිව කාර්යය නොකරන්නේ නම් කවුරු මාධ්‍ය උපදේශක ලෙස පත්කළේද විවේචන එල්ල වීම නැවැත්විය නොහැක. ඇතැම් මාධ්‍යවේදීන්ගේ වයසට වඩා තමන්ගේ මාධ්‍ය පළපුරුද්ද වැඩි යැයි කියන ක‍්‍රිකට් ලොක්කන්ට යථාර්ථය තෝරැම් ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. 

 වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00