2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

මැච් දිනන හැටි බංගලාදේශය ලංකාවට උගන්වයි

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

බංග්ලාදේශය, සත්කාර ශ‍්‍රී ලංකාවට එරෙහිව කොළඹදී පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ද 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කරමින් ශ‍්‍රී ලංකා පිලේ පසුබෑමේ තරම ලෝකටයම පෙන්වා දුන්නේය. මෙම සංචාරයේ ටෙස්ට් සහ එක්දින තරගාවලිය ද 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීම බංග්ලාදේශ පිලේ සැබෑ දියුණුවට කදිම උදාහරණයකි.  බංග්ලාදේශ සංචාරයේදී ශ‍්‍රී ලංකාව දක්‍ෂයන් ගෙදර තබා භාග ක‍්‍රීඩකයන් වැඩි වැඩියෙන් යොදා ගැනීම එතරම් හොඳ තත්ත්වයක් නොවන බව මෙම ප‍්‍රතිඵලය පාඩමක් කියා දුන්නේය. 

කකුළුවා නටන්නේ වතුර රත්වෙන තුරු යැයි ජනවහරයේ කතාවක් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවටත් එය එකසේ අදාළ වේ. භාග ක‍්‍රීඩකයකුගේ ස්ථානයට සම්පූර්ණ ක‍්‍රීඩකයකුගේ සේවය අවශ්‍ය අවස්ථාවේදී අමාරුවේ වැටෙන බව දෙවැනි විස්සයි20 තරගයේදීද ප‍්‍රදර්ශනය විය.

එම තරගයේදී කුසල් පෙරේරා දෙවැනි පන්දුවේදී දැවී යෑමෙන් පසුව කඩුලු පෙරහර ගමන් කළ ආකාරයෙන් කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් හෝ කණ්ඩායමේ සිටියා නම් යැයි බොහෝ දෙනෙක් පැවසූහ.
චාමර කපුගෙදර විස්සයි20 තරග 43 කට සහභාගි වී සිටිය ද තරගයක් ජයග්‍රහණයකින් අවසන් කිරීමේ හැකියාව පෙන්වා නැත. එවැනි ක‍්‍රීඩකයන්ට තව තවත් අවස්ථාව ලබාදීම කොතරම් ප‍්‍රයෝජවත් ද යන්න සිතා බැලීමට කාලය පැමිණ තිබේ.
ලසිත් මාලිංග කඩුලු ත‍්‍රිත්වයක් දවාගත්ත ද ඒ වන විට වියයුතු දේවල් සිදුවී හමාරය. බංග්ලාදේශයට ලකුණු 200 ආසන්නටම යෑමට තිබූ අවස්ථාව පමණක් එමගින් ඇහිරුණි.
ශ‍්‍රී ලංකා සහ බංග්ලාදේශ ක‍්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ වෙනස දෙවැනි විස්සයි20 තරගයේදී කැපී පෙනුණි. බංග්ලාදේශ පන්දු රකින්නෝ අවම වශයෙන් ලකුණු 15ක් පමණ ශ්‍රී ලංකාවට අහිමි කිරීමට සමත් වූහ.   
එක්දින තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්ට සහ දිනේෂ් චන්දිමාල්ට විස්සයි20 පිලේ ස්ථානයක් හිමිවූයේ නැත. කුසල්ගෙන් ටෙස්ට් සහ එක්දින තරගවලදී වැඩි ප‍්‍රයෝජනයක් ලබාගැනීම එහි අරමුණ බව උපුල් තරංග පවසා තිබිණි.
ක‍්‍රිකට් පරිපාලනය සහ තේරීම් පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමු නොකළහොත් ෙප්‍ර්කයන්ට ගිනි ගාණට ප‍්‍රවේශපත් මිලදී ගෙන නැරඹීමට තරග ඉතිරිවේ දැයි සැක මතුවේ. කුසල් පෙරේරා පළමු තරගයේදී ලකුණු 77ක් රැස්කර නැවතත් ලකුණු අතරට පැමිණීමෙන් රැපියල් කෝටි ගණනක් වැය කරමින් ඔහු තහනම් උත්තේජක චෝදනාවෙන් මුදාගැනීමේ වාසිය නැවතත් ලබා ගැනීමේ අවස්ථාව උදාවිය.

මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරා තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රීඩා කළ ද පළමු තරගයේදී එම දෙපළ එකම ඕවරයක් හෝ යැවීමට යොදා නොගැනීම කැපී පෙනුණි. දෙවැනි තරගයේදී මිලින්ද පිතිකරැවෙක් පමණක් බවට පත්විය. 
බංග්ලාදේශ පිල තරග පරාජයට පත්වුවද වඩාත් සමබර කණ්ඩායමක් විස්සයි20 තරගාවලියට සහභාගි විය. බංග්ලාදේශය සංචිතයට එක්දින තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයෝ 14ක් ඇතුළත්ව සිටියහ.  
තිසර සහ ඩිල්රැවන් ‘පෙරේරා’ යුගළ නොවන්ට බංග්ලාදේශය හමුවේ පළමු එක්දින තරගාවලි පරාජය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ලියා තැබීමේ අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.  
දඹුල්ලේදී පැවැති දෙවැනි එක්දින තරගය වර්ෂාවට හසු නොවන්ට ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට ඉඩ නොතිබුණා නොවේ. තෙවැනි තරගයේදී අසාර්ථක යැයි අහක දමා තිබූ තිසර පන්දු 40 කින් රැස්කළ ලකුණු 52 ක නොවන්ට ශ්‍රී ලංකාවට ලකුණු 280 ට යෑමේ අවස්ථාව නොලැබීමට ඉඩ තිබිණි.

සාර්ථක වුවත් එක්දින පිලේ අවස්ථාව නොලැබුණු ඩිල්රුවන් පෙරේරා ක‍්‍රියාත්මක වෙමින් සෞම්‍ය සාකර් සහ ශකීබ් අල් හසන් ගොඩනගමින් තිබූ සම්බන්ධතාව බිඳ නොදමන්ට තරගයේ ප‍්‍රතිඵලය පවා වෙනස්වීමට ඉඩ තිබුණි. 
එම තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ දුවද්දී දැවී යෑම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. බංග්ලාදේශ ලැබූ එම ජයග‍්‍රහණය අහඹු සිදුවීමක් නොවන බව එම තරගය පියවි ඇසින් නැරඹූ අය සාක්‍ෂි දරති. එම තරගය ආරම්භයේ සිටම බංග්ලාදේශ පිල ඉදිරියෙන් සිටියේය. 

ශ‍්‍රී ලංකාව බංග්ලාදේශ පිලට එරෙහිව එක්දින තරගාවලියට සංචිතය නම් කිරීමේ සිට වරද්දාගෙන සිටි බව පළමු තරගය අවසන් වෙන්නටත් පෙර පැහැදිළි වී තිබුණි. තේරීම් කමිටුවට එක්දින සහ විස්සයි20 තරග යන තරග අංශ දෙකේ වෙනස හඳුනාගැනීමට නොහැකිව නම් කළ සංචිතයක් ලෙස එම සංචිතය හැඳින්විය හැකිය. 

ශ‍්‍රී ලංකාව පළමු තරගයට පිවිසියේ භාග ක‍්‍රීඩකයන් රැසකින් යුතුව බව අතුවෙන් කිවයුතු නැත. එහිදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර පමණක් පන්දු යවන්නන් ලෙස හඳුනා ගැනීමට හැකිය. 
බංග්ලාදේශ පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් තිදෙනකුම වමත් පිතිකරුවන් වුවද පළමු තරගය සඳහා නම් කර තිබූ ශ‍්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන්නකු ඇතුළත්ව සිටියේ නැත.
එම තරගයට පිට දඟ පන්දු යවන්නා ලෙස ධනුෂ්ක ගුණතිලක යොදා ගැනීමට පියවර ගත්ත ද ධනුෂ්ක යැවූ  ඕවර තුනට ලකුණු 22 ක් රුස්කිරීමට පිතිකරු යුගළ සමත් වූහ.   ශ‍්‍රී ලංකා තේරීම් කමිටුවට බංග්ලාදේශ තේරීම් කමිටුවෙන් ආදර්ශයක් ලබාගත හැකිය. බංග්ලාදේශ පිලේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් නිෂ්චිතව හඳුනාගත හැකිව තිබුණි.  

බංග්ලාදේශ පිලේ ඉදිරි පෙළ පිතිකරැවන් පස්දෙනාගෙන් තමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර් සහ ශකීබ් අල් හසන් යන තිදෙනාම වමත් පිතිකරුවෝ වෙති. තමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් දෙපළ පන්දුවට පහර දෙන විට ධනුෂ්ක යොදා ගත්ත ද පළක් නොවීය. එම දෙපෙළ ලකුණු 144 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ඒ හේතුවෙන් බංග්ලාදේශ පිලට ලකුණු 324 ක් රැස්කිරීමට පරිසරය නිර්මාණය වී තිබුණි. 
බංග්ලාදේශ පිල ශ‍්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව පිළිබඳව අවධානය යොමු කරමින් ටෙස්ට් තරගාවලියේදී කඩුලු 10 ක් දවාගත් 19 හැවිරිදි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මෙහිඩි හසන් නැවතත් කැඳවීය. 
මෙහිඩි හසන් ටෙස්ට් තරගාවලියෙන් පසුව නැවත බංග්ලාදේශයට ගිය ද දිනයකට අඩු කාලයකදී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීයේය. පළමු තරගයේදී මෙහිඩි හසන් ප‍්‍රබලතම පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේදී කඩුලු 8 ක් දවාගත් පිට දඟ පන්දු යවන ඩිල්රු පෙරේරා කැඳවීමට තේරීම් කමිටුවට මතක් වෙන්නේ දෙවැනි තරගයට පෙර දින පස්වරුවේය. ඔහු එදින රාත‍්‍රී දඹුල්ලට ළගා වන අතර පසු දින තරගයට ද සහභාගි විය. 

ශ‍්‍රී ලංකා තේරීම් කමිටුවට වඩා සාමාන්‍ය ජනතාවට ක‍්‍රිකට් පිළිබඳ දැනුම ඇති බව දෙවැනි එක්දින තරගයට පෙර දිනයේ රාත‍්‍රී පිට දඟ පන්දු යවන ඩිල්රැවන් පෙරේරා කැඳවීමෙන් පැහැදිලි විය. 
දෙවැනි එක්දින තරගයට නුවන් කුලසේකර සහ නුවන් ප‍්‍රදීප් කැඳවා ක‍්‍රීඩා කරවීමෙන් පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රීඩකයන් සිටියදී වෙනත් ක‍්‍රීඩකයන් සංචිතයේ රඳවා සිටින බවයි. මෙම සංචිතයේ පිට දඟ පන්දු යවන්නකු නොමැති වීම ගැටලුවක් විය. එහිදී තමන්ට අතපසු වීමක් සිදුව බව පිළිගැනීමට තේරීම් කමිටුවේ සූදානමක් නොවීය. 
තවද ඇතැම් තේරීම් කමිටු සාමාජිකයකු ක‍්‍රීඩකයකුට කන පැලෙන උපදෙස් දුන් බව ද දැනගන්නට තිබේ. එම ක‍්‍රීඩකයා දෙවැනි තරගයේදී සාර්ථක වූ බව ද වාර්තා වේ. තේරීම් කමිටුවට කන පැලෙන උපදෙස් දීමේ අවස්ථාව තිබුණ ද තේරීම් කමිටුවට කණ පැලෙන උපදෙස්දීමට තරම් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා බලධාරීන්ට කොන්දක් නොමැති බව දැන් දැන් සිද්ධ වන දේවලින් පැහැදිළි වේ. 
‘සෙල්ෆි’ ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රිකට් ආයතනයේ ලොක්කන් වන මිතුරන්ට අවශ්‍ය ආකාරයට වැඩ කරගෙන යෑමට අවස්ථාවදී බලා සිටියි. එම ලොක්කෝ ඡන්දය දුන් ක‍්‍රීඩා සමාජවලට කළගුණ සැලකීමට ජාතික ක‍්‍රිකට් කණ්ඩායම යොදාගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

මෙම තත්ත්වයට ඉහළින්ම මැදිහත් වීමක් නොවුණහොත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කතාකිරීමට දෙයක් ඉතිරි නොවන තත්ත්වයක් උදාවීමට ඉඩ තිබේ. දේශපාලන බල අරගලය තුළ තමන්ගේ ගොඩ වැඩි කිරීමේ බලඅරගලය තුළ ක‍්‍රීඩා බලධාරීන්ට පිනුම් ගැසීමේ අවස්ථාව අඛණ්ඩව ලබාදුන හොත් ශ‍්‍රී ලංකාවේ සමස්ත ක‍්‍රීඩාවම කඩා වැටීම වැළැක්විය නොහැක.  

සටහන: වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00