ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පාලකයන්ගේ හිතවතුන් පාර්ශව කීපයකට බෙදී මුදල් කුට්ටි වෙනුවෙන් සටන් වදින බව වාර්තා වේ. එවැනි සිද්ධීන් කීපයක් බංග්ලාදේශ සංචාරය අතරතුරදී දැනගන්නට ලැබුණි.
මෙහි කැපී පෙනන තත්ත්වය බවට පත්ව තිබෙන්නේ පාර්ශව දෙක තුනම මදි නොකියන්න තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමය. මෙහිදී තමන්ට කුට්ටියක් නොලැබුණ හොත් අනෙක් පාර්ශවය පිළිබඳව තොරතුරැ ලබාදීම පුරුද්දක් බවට පත්කරගෙන තිබේ.
තරග නැරඹීමේ ප‍්‍රවේශපත් එක නිලධාරියකුගේ මැදිහත් වීමෙන් හොර පාරේ ගිය අතර අදාළ නිලධාරියා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවයන්ට සම්ප‍්‍රදායක් ලෙස ලබාදෙන ප‍්‍රවේශපත් දෙක ද අත්හිටුවා තිබුණි.
බංග්ලාදේශ සංචාරයේ විස්සයි20 තරගවල ඇතැම් ප‍්‍රවේශපත්වල මිල දෙගුණයකින් වැඩිකර තිබුණි. තරග නැරඹීමට ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් නොතිබූ අතර ප‍්‍රවේශපත් මිල වැඩි කිරීමද ඊට බලපෑ බව තතු දන්නෝ පවසති.
කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති විස්සයි20 තරගයක් අතරතුරදී ප‍්‍රධාන ප්‍රේක්ෂකාගාරයක වායු සමීකරණ අක‍්‍රිය වූ බවත් කඹ ඇදිල්ලක ප‍්‍රතිඵලයක් ලෙස තරගය අවසන් වන තෙක් එය යථා තත්ත්වයට පත් නොකළ බවත් දැනගන්නට තිබේ.
වර්තමාන ක‍්‍රිකට් ලොක්කෙකුගේ ප‍්‍රධානම ගෝලයන් දෙදෙනකු අතර විරසකයක් මෙයට බලපෑ බව කියති.
බංග්ලාදේශ සංචාරයේ තාවකාලික තනතුරක් දරමින් සිටියේ යැයි කියන වර්තමාන පාලකයන්ට ඡන්දය දුන් කළුතර දිස්ත‍්‍රික්කයට සම්බන්ධ ක‍්‍රීඩා සමාජයක ප‍්‍රධාන තනතුරක් දැරැවේ යැයි කියන පුද්ගලයකු ලොරියක් පිටින්ම ඔහුගේ නිවසට ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් ගෙන්වාගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බව වාර්තා වේ.
කළුතර පැත්තේ ක‍්‍රීඩා සමාජයේ තනතුරෙන් ද මෑතකදී ඉවත් කළේ යැයි කියන මෙම පුද්ගලයාට නැවත මෙම තනතුරු නොලැබෙන බව දැනීමෙන් අව්ව තිබෙන වෙලාවේ වේලාගත යුතුයි යැයි කියන න්‍යාය අනුගමනය කර ඇති බව ක‍්‍රිකට් ආයතනයේ කතා පැතිර යයි.
ආදාළ නිලධාරියාගේ ගෝලයකුද ලොරියකින් තම ගෙදරට බඩු රුගෙන ගොස් ඇති බවට සංචාරය අවසන් වීමටත් පෙර ක‍්‍රිකට් ආයතනයට පැමිණිළි ලැබී තිබුණු බව වාර්තා වේ.
මෙම සිද්ධීන් වාර්තා වූ ඒවා වන අතර වාර්තා නොවූ සිද්ධීන් කොපමණ තිබිය හැකිදැයි මේ ගැන කරුණු දැනගත් තවත් ලොක්කකු කියා තිබිණි.
I භාසුර